August, 25, 2026
දිඹුල ප්‍රදේශයේ තේ කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා 1885 වසරේ ඉදිකළ නානුඔය දුම්රිය ස්ථානයට යාබදව පිහිටි සමර්සෙට් වතුයාය, කලාපයේ පහසුවෙන් ළඟා විය හැකි මෙන්ම දිගු ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රමුඛ ඉහළ කඳුකර තේ වතුයායකි.
පරම්පරා ගණනාවක් පුරා වතු පාලකයන්ගේ යුගයන් පසුකරමින් අදටත් ක්‍රියාත්මක යන්ත්‍රෝපකරණ සහ වතුයාය සමඟ බැඳී සිටින පවුල්, නව තාක්ෂණය අඛණ්ඩව වැළඳගැනීම සහ කිසිදා වටිනාකම නොගිලිහුනු උසස් තත්ත්ව ප්‍රමිතිය එහි උරුමය ගොඩනැගූ ප්‍රධාන කුලුනු තුන වේ.
සමර්සෙට් යනු අතීතයට පමණක් සීමා වූ ඉතිහාසගත සිහිවටනයක් නොවේ. එය අදටත් සක්‍රීයව ක්‍රියාත්මක වෙමින්, වසර 150කට ආසන්න කාලයකට පෙර ඇරඹුණු සිය කතාව අනාගත පරම්පරාවන් වෙත රැගෙන යන ජීවමාන තේ වතුයායකි.
තේවතුයායක භූමි ප්‍රතිනිර්මාණය
සමර්සෙට් වතුයායේ තේ පඳුරුවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් පැරණි බීජ පැළ චීන ජැට් (Seedling China Jat) ප්‍රභේදයට අයත් වේ. ඒවා 19 වැනි සියවසේදී ලංකාවට මුල්වරට රැගෙන ආ තේ පැළවලින් පැවත එන ප්‍රභේදයන්ය. ජනවාරි සිට මාර්තු දක්වා දිවෙන බටහිර ගැණුම්කරුවන් අතර ඉහල ඉල්ලුමක් සහිත ඉහළ ප්‍රමිතිගත තේ නිෂ්පාදන සමයේදී මෙම පැරණි තේ පඳුරු සිය ඉහළම ඵලදායීත්වයට පැමිණෙයි. එමගින් නිෂ්පාදනය වන තේවල රසය සහ ගුණාංග තුළ, මෙරට තේ කර්මාන්තයේ මුල් යුගයේ අනන්‍ය ලක්ෂණ අදටත් පිළිබිඹු වෙයි.
එහෙත් සමර්සෙට්හි උරුමය අතීතයට සීමා කර සංරක්ෂණය කර ඇති ස්ථාවර සිහිවටනයක් නොවේ. වතුයායේ ඉතිරි තේ පඳුරු නව ප්‍රභේදවලට අයත් අතර, ඒවා ඉක්මනින් පරිණත වීම සඳහා අඩු පරතරයකින් සිටුවා තිබේ. සෙමින් දහනය කළ කාබනික ද්‍රව්‍යවලින් නිපදවන පස සාරවත් කිරීමේ ද්‍රව්‍යයක් වන ජෛව අඟුරු (Biochar) භාවිතය හේතුවෙන් වගා බිම්වල ජලය රඳවා ගැනීමේ හැකියාව ද ඉහළ ගොස් ඇත. එමගින් කෘත්‍රිම කෘෂි යෙදවුම් මත පවතින යැපීම අවම කිරීමටද හැකි වී තිබේ.
වතුයායේ සෑම අක්කරයක්ම තේ වගාව සඳහා සුදුසු නොවන අතර, සමර්සෙට් පාලනාධිකාරිය එය තවදුරටත් අහිමිවීමක් ලෙස නොසලකයි. දැඩි බෑවුම් සහිත සහ වගාවට අඩු යෝග්‍යතාවක් ඇති භූමිවල ස්වාභාවික වනාන්තර රටාවට දේශීය ශාක හා ගස් වර්ග වගා කර තිබේ. තේ වගාවට කිසිසේත් භාවිත කළ නොහැකි භූමිවල වේගයෙන් වර්ධනය වන දැව ශාක වගා කිරීමෙන්, මෙතෙක් භාවිතයට නොගත් ඉඩම් නව ආදායම් මාර්ග බවට පත්කර ඇත.
එම තිරසර දැක්ම නානුඔය සහ ආග්‍රා ඔය ගංගා ද්‍රෝණි ඔස්සේ කිලෝමීටර් 13ක් පුරා දිවෙන ජෛව විවිධත්ව සම්බන්ධතා මාර්ගය තුළින්ද ඉදිරියට ගෙන යමින් පවතී. ශ්‍රී ලංකා වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමය සමඟ එක්ව සංවර්ධනය කරන මෙම ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර 80ක වනාන්තර භූමි ප්‍රමාණයක් යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අපේක්ෂිතය. එහි ඉදිරි පියවරක් ලෙස දේශීය ගස් 50,000කට අධික සංඛ්‍යාවක් සිටුවීමටද සැලසුම් කර තිබේ.
මේ සියලු ප්‍රයත්නයන් එකට ගත් කල, සමර්සෙට් යනු තේ පමණක් වගා කිරීමට සීමා නොවී, සිය සමස්ත භූමියේ සෑම කොටසක්ම එකිනෙකට බැඳුණු ජීවමාන පරිසර පද්ධතියක අංගයක් බවට පත්කිරීමට ඉගෙනගත් වතුයායකි.
තාක්ෂණය ඔස්සේ බලගැන්වෙන කාර්යසාධනය
සමර්සෙට් වතුයායේ සිදුවන පරිවර්තනය පිළිබඳ පැහැදිලිම සාක්ෂිය වන්නේ, එහි මෙහෙයුම් තුළ එම අවස්ථාවේදීම දැකගත හැකි තාක්ෂණික වෙනස්කම්ය. වගා බිමේදී භාවිත කළ අතින් ක්‍රියාත්මක කල තරාදි වෙනුවට ඩිජිටල් කිරුම් පද්ධතියක් හඳුන්වා දී තිබේ. එමගින් තේ දලු නෙළන්නන්ට තමන් නෙළූ දලු ප්‍රමාණය පිළිබඳ නිවැරදි වාර්තාවක් ලැබෙන අතර, දෛනික අස්වැන්න පිළිබඳ සජීවී දත්ත වතු කළමනාකාරිත්වයට ලබාගත හැකිය. එම දත්ත සේවක ආදායම් වඩාත් විනිවිදභාවයෙන් ගණනය කිරීමටද සෘජුව දායක වේ.
වලාකුළු පරිගණක තාක්ෂණය පදනම් කරගත් අධීක්ෂණ පද්ධතියක් මගින් තේ දලු නෙළීමේ වාර, පොහොර යෙදීමේ කාලසටහන් සහ පළිබෝධ අවදානම් ඒවා සිදුවන අවස්ථාවේදීම නිරීක්ෂණය කෙරේ. කර්මාන්තශාලාව තුළද එවැනිම පද්ධතියක් ක්‍රියාත්මක වන අතර, තේ දලු මැලවීම, ඇඹරීම, පැසවීම, වියළීම සහ ශ්‍රේණිගත කිරීම යන සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය සැබෑ වේලාවේදී අධීක්ෂණය කිරීමට එමගින් හැකියාව ලැබේ.
විශේෂයෙන් වැඩි අවධානයක් අවශ්‍ය වන බටහිර කලාපීය උසස් තත්ත්ව තේ නිෂ්පාදන සමයේදී, නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කර අවශ්‍ය වෙනස්කම් කඩිනමින් සිදුකිරීමට මෙම තාක්ෂණය අධීක්ෂකවරුන්ට ඉඩ සලසයි. මෙය TTE PLC සමාගමට අයත් වතු පහළොව පුරා ක්‍රියාත්මක කර ඇති කර්මාන්තශාලා ස්වයංක්‍රීයකරණ වැඩසටහනේ කොටසකි.
සමර්සෙට් වතුයායේ දැඩි බෑවුම් සහිත භූමිවලට පොහොර යෙදීම සඳහා ඩ්‍රෝන තාක්ෂණයද යොදාගැනේ. අතින් හෝ ට්‍රැක්ටර් මගින් පොහොර පැතිරවීම වෙනුවට නිවැරදි ගුවන් යෙදවුමක් සිදුකිරීමට මෙම ක්‍රමය ඉඩ සලසයි. එමගින් පොහොර අපතේ යාම අවම කිරීම, දුෂ්කර බෑවුම්වල ශ්‍රම අවශ්‍යතාව අඩු කිරීම සහ පස තදවීමේ හා පොහොර ජලය සමඟ ගලා යෑමේ අවදානම පහත දැමීම සිදු වේ. මෙය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළ නිරවද්‍ය කෘෂිකර්මාන්තය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය පෙන්නුම් කරන මුල්කාලීන සහ පැහැදිලි සලකුණක් ලෙසද සැලකිය හැකිය.
ගැණුම්කරුවන්ගේ ආකර්ෂණයට නතු වූ සමර්සෙට් තේ සන්නාමය
වතුයායට අලුතින්ම එක්වූ අංගය වන්නේ “Somerset TeaTel” සන්නාමය යටතේ නානුඔයදී විවෘත කළ සමර්සෙට් තේ අලෙවිසැලයි. කොළඹ නුවරඑළිය මාර්ගයේ ගමන් කරන සංචාරකයන්ට මඳක් නතර වී වතුයායෙන් නැවුම්ව නිෂ්පාදනය කළ කළු තේ, සාම්ප්‍රදායික කිරි තේ සහ සමර්සෙට් වතුයායේ තේ පමණක් අඩංගු ඇසුරුම් රසවිඳීමට මෙහිදී අවස්ථාව සැලසේ. ඒ අනුව, කෙටි ගමන් විරාමයක් පවා නානුඔය නිම්නය පිළිබඳ දිගුකාලීන මතකයක් බවට පත්කිරීමට මෙම අලෙවිසැල සමත්ව තිබේ.
සමර්සෙට් තේ වතු සංචාරයකට එක්වන අමුත්තන්ට තේ දලු නෙළීම, තේ රස බැලීම සහ කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය එම ස්ථානයේදීම අත්විඳීමටද අවස්ථාව ලැබේ. එබැවින්, ලංකා තේ ඉතිහාසය සහ අදටත් නොවෙනස්ව පවතින එහි සම්ප්‍රදායන් දැකබලා ගැනීමට සමර්සෙට් කදිම ගමනාන්තයකි.
බටහිර කලාපීය උසස් තත්ත්ව තේ නිෂ්පාදන සමයේදී සමර්සෙට් වතුයාය ජාත්‍යන්තර තේ ගැනුම්කරුවන්ගේ ස්වාභාවික හමුවීම් මධ්‍යස්ථානයක් බවටද පත්වෙයි. විශේෂයෙන් ජපාන ගැනුම්කරුවෝ කර්මාන්තශාලාවේ නිෂ්පාදන මාර්ගයෙන් අලුතින්ම නිකුත් වන සෘතුමය තේ මිලදී ගැනීම සඳහා සෑම වසරකම සමර්සෙට් වෙත පැමිණෙති.
කෙසේ වෙතත්, සමර්සෙට් තේවල ගුණාත්මකභාවය ගැනුම්කරුවන්ට අමුතුවෙන් ඒත්තු ගැන්විය යුතු එකක් නොවේ. 2022 වසරේදී එහි ඉහළම ශ්‍රේණියේ තේ කිලෝග්‍රෑමයක් රුපියල් 2,600ක වාර්තාගත මිලකට අලෙවි විය. එම වාර්තාව 2025 මාර්තු මාසයේදී බිඳ වැටුණේ එක් තේ තොගයක් කිලෝග්‍රෑමයකට රුපියල් 3,050ක මිලකට අලෙවි වීමත් සමඟය. එය එම කලාපයෙන් නිෂ්පාදනය කළ අදාළ වර්ගයේ තේ සඳහා මෙතෙක් ගෙවා ඇති ඉහළම මිල ලෙසද වාර්තා විය.
එම වසරේ තේ අපනයනකරුවන්ගේ සංගමයේ සම්මාන උළෙලේදී “විශිෂ්ට තේ නිෂ්පාදකයා” කාණ්ඩයේ අනුශූරතාවද සමර්සෙට් වතුයායට හිමි විය. එම ඇගයීම, පසුගිය දශකය පුරා කලාපයේ ප්‍රමුඛතම තේ නිෂ්පාදකයන් අතර සමර්සෙට් පවත්වාගත් ස්ථානය තවදුරටත් තහවුරු කළේය.
සමර්සෙට් තේ නාමය කොළඹ තේ වෙන්දේසියෙන් ඔබ්බටද ශක්තිමත් පිළිගැනීමක් දිනාගෙන තිබේ. ඩිල්මා සමාගම සිය “Watte Boutique” සහ “Teamaker’s Private Reserve” නිෂ්පාදන පෙළ යටතේ එක්සත් රාජධානියේ සමර්සෙට් තේ අලෙවි කරයි. ලන්ඩනයේ ට්වයිනින්ග්ස් සමාගමද සිය එක් වතුයායකින් පමණක් ලබාගන්නා සිලෝන් තේ නිෂ්පාදන පෙළ සඳහා සමර්සෙට් තේ මිලදී ගෙන තිබේ.
සහතික කළ සහ මූලාශ්‍රය පහසුවෙන් හඳුනාගත හැකි තේ සඳහා ජර්මනියේ පවතින ඉල්ලුම සමර්සෙට් වතුයායේ නිෂ්පාදන ලක්ෂණ සමඟ හොඳින් ගැළපෙයි. මව් සමාගමේ ජාත්‍යන්තර වෙළෙඳ ජාලය ඔස්සේ සමර්සෙට් තේ මැදපෙරදිග, එක්සත් ජනපදය සහ චීනය ඇතුළු තවත් ප්‍රධාන වෙළෙඳපොළ රැසකටද ළඟා වෙයි.
තිරසර අනාගතයක් කරා පියවර මැනීම
සමර්සෙට් වතුයාය සිය භූමි සම්පත තේ වගාවට පමණක් සීමා නොකර, විකල්ප සහ තිරසර ආදායම් මාර්ග නිර්මාණය කිරීම සඳහාද යොදාගෙන තිබේ. “TTEL Somerset Hydro Power” යටතේ ක්‍රියාත්මක එහි කුඩා ජලවිදුලි බලාගාරය, කොත්මලේ ඔය සහ නානුඔය ජල පෝෂක ප්‍රදේශවල ජල සම්පත භාවිත කරමින් කිලෝවොට් 1,100ක ස්ථාපිත ධාරිතාවකින් ක්‍රියාත්මක වේ.
2025/26 මූල්‍ය වර්ෂයේදී සියයට 95ක ධාරිතා උපයෝජනයක් යටතේ ක්‍රියාත්මක වූ මෙම බලාගාරය, කිලෝවොට් පැය 3,622,254ක විදුලි බලයක් ජනනය කර තිබේ. එමගින් වතුයායේ බලශක්ති අවශ්‍යතා සපුරාලන අතරම, අතිරික්ත විදුලිය ජාතික විදුලිබල පද්ධතියටද එක් කෙරේ. මෙය TTE PLC සමාගමේ සමස්ත බලශක්ති භාවිතයෙන් සියයට 87ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ වැඩපිළිවෙළේ වැදගත් කොටසකි. ඒ සමඟම, තේ මිල උච්චාවචනයන්ගෙන් ස්වාධීන ආදායම් මාර්ගයක්ද වතුයායට නිර්මාණය වී තිබේ.
කොකා-කෝලා පදනම, ජනතක්ෂන් සහ නෙප්චූන් රීසයික්ලර්ස් ආයතන සමඟ එක්ව සමර්සෙට් වතුයාය පරිසර හිතකාමී ද්‍රව්‍ය එක්රැස් කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යයි. එමගින් වතුයායෙන් සහ අවට ප්‍රජාවෙන් බැහැර කරන PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කර ප්‍රතිචක්‍රීකරණයට අවශ්‍ය පරිදි සකස් කෙරේ.
මෙම මධ්‍යස්ථානය සමර්සෙට් වතුයායේම ජලවිදුලි බලාගාරයෙන් නිපදවන පුනර්ජනනීය විදුලි බලයෙන් මුළුමනින්ම ක්‍රියාත්මක වීමද විශේෂත්වයකි. පරිසරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමට අමතරව, විශේෂයෙන් කාන්තාවන් සහ තරුණ තරුණියන් සඳහා නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමටද මෙම ව්‍යාපෘතිය දායක වී තිබේ.
පරපුරෙන් පරපුරට රැගෙන යන වසර 145ක උරුමය
සමර්සෙට් භූමියේ තේ වගාව ආරම්භ කිරීමට පෙර එය වනාන්තරයෙන් වැසී පැවති අතර, ඇතැම් ප්‍රදේශවල කෝපි වගාවද සිදු කෙරිණි. එවකට ලංකාවේ වැවිලිකරුවන්ට විශාල ආර්ථික සෞභාග්‍යයක් උදාකරනු ඇතැයි අපේක්ෂා කළ කෝපි වගාව, පසුව පැතිර ගිය වසංගත රෝගයක් හේතුවෙන් විනාශයට පත් විය. ජේම්ස් ටේලර් ලූල්කඳුර වතුයායේදී ලංකාවේ ප්‍රථම වාණිජ තේ වගාව ආරම්භ කර වසර 13කට පසු, එනම් 1880දී සමර්සෙට් වතුයායේ තේ වගාව මුල් බැස ගත්තේය. එය එවකට සමස්ත දිඹුල කලාපය පුරා කෝපි වගාවෙන් තේ වගාවට සිදුවෙමින් පැවති ඓතිහාසික පරිවර්තනයේ එක් වැදගත් කොටසක් විය.
සමර්සෙට් වතුයායේ ප්‍රථම වතු කළමනාකරු ලෙස සී. එම්. බී. විල්කින්ස් 1880 වසරේදී වැඩ භාරගත්තේය. ඉන් අනතුරුව ජී. ඒ. ටැල්බට් එම වගකීම දැරූ අතර, ඔහුගෙන් පසුව වතුයායේ කළමනාකාරිත්වය භාරගත් එස්. ආර්. ස්මෙදර්ස්ට් වසර 32ක් පුරා එය මෙහෙයවීය. එය මෙරට වතු ඉතිහාසයේ කළමනාකරුවකු වාර්තා කළ දීර්ඝතම සේවා කාලයන් අතරින් එකකි.
එතැන් සිට සමර්සෙට් වතුයායේ හිමිකාරිත්වය අවස්ථා කිහිපයකදීම වෙනස් විය. පෞද්ගලික හිමිකාරිත්වයේ සිට සමාගම් පාලනයට මාරු වූ එය, 1972දී රාජ්‍ය කළමනාකරණය යටතට පත් කෙරිණි. 1992දී සිදුකළ පෞද්ගලීකරණයෙන් පසුව සමර්සෙට් වතුයාය තලවකැලේ තේ වතු සමාගම යටතට පත්විය.
හේලීස් ප්ලාන්ටේෂන් සර්විසස් විසින් 1998දී තලවකැලේ තේ වතු සමාගම අත්පත් කරගත් අතර, 2000 වසරේදී එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරිණි. හිමිකාරිත්වය සහ පාලන ක්‍රමවේදය යුගයෙන් යුගයට වෙනස් වුවද, සමර්සෙට් වතුයායේ තේ නිෂ්පාදනය කිසිදු විරාමයකින් තොරව අඛණ්ඩව ඉදිරියට ගියේය.
එම අඛණ්ඩත්වය අදටත් සමර්සෙට් තේ කර්මාන්තශාලාව තුළ ජීවමානව පවතී. වසර 140කට ආසන්න පැරණි යන්ත්‍රෝපකරණ කිහිපයක් එහි දෛනික නිෂ්පාදන කටයුතු සඳහා තවමත් භාවිත කෙරේ. යටත්විජිත යුගයේ වතු ජීවිතයේ කේන්ද්‍රස්ථානය වූ වතු අධිකාරිවරයාගේ බංගලාවද එදා පැවති ස්වරූපය බොහෝ දුරට ආරක්ෂා කරගනිමින් අදටත් නොවෙනස්ව පවතී.
එහෙත් සමර්සෙට්හි සැබෑ ශක්තිය පවතින්නේ එහි මානව ප්‍රාග්ධනය තුළය. ඇතැම් තේ දලු නෙළන පවුල් පරම්පරා පහක් පුරා මෙම වතුයායේ සේවය කරති. සමර්සෙට් නාමය නිල වාර්තාවල සටහන් වීමටත් බොහෝ කලකට පෙර එහි කීර්තිය ගොඩනැගුණේ, දක්ෂතාවයෙන් සහ පළපුරුද්දෙන් තේ දලු නෙළුෑ කාන්තා ශ්‍රමිකයන්ගේ පරම්පරාගත දායකත්වය මතය.
අද වනවිට සේවක සේවිකාවෝ 440 දෙනෙක් එම පරම්පරාගත උරුමය ඉදිරියට රැගෙන යති. සමර්සෙට් වතුයායේ නව සංවර්ධන වැඩසටහන් මගින් නිහඬව ආරක්ෂා කිරීමට උත්සාහ කරන්නේ එහි යන්ත්‍රෝපකරණ හෝ තේ පඳුරු පමණක් නොව, වතුයාය සහ එහි ජනතාව අතර පරම්පරා ගණනාවක් පුරා ගොඩනැගුණු මෙම සබඳතාවද වේ.
ප්‍රථම තේ පඳුර මිහිමත රෝපණය කර සියවස් එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, සමර්සෙට් අදටත් එදා මෙන්ම සක්‍රීය තේ වතුයායක් ලෙස පවතී. වෙනස් වෙමින් පවතින ලෝකයක නව මාවත් සොයා ගනිමින් ඉදිරියට යන එය, අදටත් ලොවට පැවසිය යුතු වටිනා කතාවක් රැගෙන යයි.
Video Story