සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක් ’වැඩසටහන කොබෙයිගනේ- පුබ්බිලිය ගොවි ජනතාවගේ සරුසාර අනාගතයට මංපෙත් විවර කරයි

    January, 3, 2022

    රටක් සංවර්ධනය කරන්නට නම් ගම සංවර්ධනය කළ යුතුය. ගම සංවර්ධනය කරන්නට නම් ගම් වැසියන්ගේ ජීවනෝපාය සංවර්ධනය කළ යුතුය. මෙරට බහුතරයක් වූ ගම් වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. එහෙයින් එකී ගම් වැසියන්ගේ ජීවනෝපාය සංවර්ධනය කරන්නට නම් කෘෂිකර්මාන්තය දියුණු කිරීම අත්‍යාවශ්‍යය. කෘෂිකර්මාන්තය දියුණු කිරීමේදී ඒ සඳහා වන පහසුකම් සංවර්ධන කිරීමත්, ගොවීන් වෙත එම සංවර්ධනයේ ප්‍රතිඵල ඍජුවම ලබා දීමත් කළ යුතුමය. මෙරට කෘෂි කර්මාන්තය තුළ ප්‍රධානතම සාධකයක් වන වී ගොවිතැන නගා සිටුවීම වෙනුවෙන් හෙල රජ දවස පටන් අද දක්වාම විවිධ පියවරයන් ගෙන ඇත්තේ එය සමස්ත රට වැසියාගේ ප්‍රධාන ආහාරමය අවශ්‍යතාවන් සපුරාලන බැවිනි. වී ගොවිතැන වෙනුවෙන් ගොවීන්ට අවශ්‍යම මූලික සාධකයක් වන්නේ ජලයයි. එදා හෙල රජ දරුවන් මෙන්ම පසු කලෙක රට පාලනය කළ පාලකයන් රට පුරා විවිධ ප්‍රමාණයේ වැව් නිර්මාණය කිරීමට පියවර ගත්තේ එහෙයිනි. අදද ගොවීන් දුක් මහන්සියෙන් අසවැද්දූ කෙත් යායන්ට අවශ්‍ය දියවර සපයන්නේ ඒ මහා වැව් පද්ධතියයි.

    එහෙත් කාලයත් සමඟ ගොවීන්ට ඉසුරු ගෙන ආ වැව් පද්ධතියෙන් සමහරක් කෙමෙන් අභාවයට යමින් පවතින්නේ නිසි නඩත්තුවක් හෝ ප්‍රතිසංස්කරණයක් නොමැති පරිසරයක් තුළය. එසේ අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවට සරුසාර අනාගතයක් උරුම කර දීම වෙනුවෙන් සම්පත් බැංකුව පියවර ගත්තේ මූල්‍ය සේවාවන්ගෙන් ඔබ්බට ගොස් රට වෙනුවෙන් වඩා වැඩි සේවාවක් ඉටු කිරීම වෙනුවෙනි. සම්පත් බැංකුවේ  ‘වැවට ජීවයක් ’සමාජ සත්කාරක වැඩසටහන ආරම්භ වූයේ එලෙසිනි.

    වසර ගණනාවක් තිස්සේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහන තුළින් වාරි කර්මාන්තයේ උන්නතියට කැපවෙමින් ගොවි ජනතාවගේ හදවතට සමීප වූ සම්පත් බැංකුවේ 12 වන වැඩසටහනින් ජීවය ලබන්නට කොබෙයිගනේ පුබ්බිලිය ග්‍රාමයේ පිහිටි පුබ්බිලිය මහ වැව වාසනාවන්ත විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය - කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුබ්බිලිය ග්‍රාම සේවා වසමෙහි කෘෂි කාර්මික අවශ්‍යතාවන් පමණක් නොව පානීය ජල අවශ්‍යතාවන්ද සපුරාලන පුබ්බිලිය මහ වැව මේි වන විට මුහුණ දී ඇත්තේ ඉතා අවාසනාවන්ත තත්වයකටය. කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණයෙන් මඟ හැරුණු පුබ්බිලිය මහ වැව හේතුවෙන් දැඩි අසීරුතාවයකට මුහුණ දීමට ගොවීන්ට සිදු විය. අක්කර 45ක් පුරා විහිදුණු පුබ්බිලිය මහ වැවෙන් පෝෂණය වූ අක්කර 200කට වැඩි කුඹුරු යායට අවශ්‍ය තරම් දියවර නොමැති වීම මත අසරණ වූ ගොවි පවුල් සංඛ්‍යාව 160කට අධිකය.

    දැදුරු ඔය වම් ඉවුර ව්‍යාපෘතියෙන් පෝෂණය වන පුබ්බිලිය මහ වැව සැල්වීනියා වැනි ආක්‍රමණික ශාකයන් හේතුවෙන් විනාශ වෙමින් පවතින්නේ ඉහළ ජල ධාරිතාවක් රඳවා ගැනීමේ ශක්තියද හීන කරමිනි. එපමණක් නොව බොහෝ සේ අබලන්ව ගොස් ඇති වැවෙහි පිටවාන හේතුවෙන් විශාල ජල ප්‍රමාණයක් නිකරුණේ අපතේ යාම ගොවීන්ට කිසිසේත් නවතාලීමට නොහැකි විය. කෘෂිකර්මාන්තයට පමණක් නොව පානීය ජල ව්‍යාපෘතියට පෝෂණය සැපයීම මෙන්ම අනෙකුත් ජල අවශ්‍යතාද සපුරාලන, ගමට මහත් අභිමානයක් වූ පුබ්බිලිය මහ වැව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සම්පත් බැංකුව පියවර ගත්තේ මෙවන් තත්වයක් තුළය.

    මේ පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී තුසිත නාකන්දල  මහතා “සම්පත් බැංකුව විදියට අපි මූල්‍ය සේවාවන්ගෙන් ඔබ්බට යමින් ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම වෙනුවෙන් විවිධාකරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැපවී කටයුතු කරනවා. එහි එක් සුවිශේෂී වැඩසටහනක් ලෙස zවැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන හඳුන්වා දෙන්න පුලුවන්. මේ දක්වා අපි මෙවන් ව්‍යාපෘති 11ක් රට පුරා ක්‍රියාත්මක කර තිබෙනවා. ‘වැවට ජීවයක්’ වැඩසටහනේ 12 වැනි පියවර ලෙස නිකවැරටිය පුබ්බිලිය මහ වැව ප්‍රතිසංස්කරණය සඳහා අපගේ දායකත්වය ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. වැවක් කියන්නේ ගමට පමණක් නොව රටටම සම්පතක්. ඒ සම්පත් අපි ආරක්ෂා කරගත යුතුයි. ඒවා මතු පරම්පරාවටත් උරුම කර දිය යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී ගොවි ජනතාවගේ ජීවිත නගා සිටුවමින් තව තවත් මේ ආකාරයේ වැව් ප්‍රතිංස්කරණය සඳහා ‘වැවට ජීවයක්’ වැඩසටහන තුළින් අපගේ දායකත්වය ලබා දීමට අපි කටයුතු කරනවා.ඒ සඳහා කැපවන සම්පත් බැංකුවේ කාර්ය මණ්ඩලයට මෙන්ම ඒ හා සම්බන්ධ වන අනෙකුත් සියලු ආයතනයන්ට අපගේ ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමට කැමතියි.” යනුවෙන් පවසා සිටින ලදී.

    මෙහිදී අදහස් දැක්වූ පුබ්බිලිය ගොවි සංවිධානයේ සභාපති කිරිබංඩියා මහතා සඳහන් කර සිටියේ “පරම්පරා ගණනාවක් තිස්සේ ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් පුබ්බිලිය ගොවි ජනතාව මුහුණ දෙමින් සිටි ප්‍රධාන ගැටළුවක් මේ ආකාරයෙන් නිරාකරණය කර දීමට පියවර ගැනීම පිළිබඳව සම්පත් බැංකුවට මාගේ හද පිරි කෘතවේදීත්වය පිළිගැන්වීමට කැමතියි. ඇත්තටම මේ වැව අපට විශාල සම්පතක්. අපේ ජීවිතේ බොහෝ දේවල් මේ වැවත් එක්ක බැඳිලා තියෙන්නේ. කෘෂිකර්මාන්තයට පමණක් නෙවෙයි පුබ්බිලිය ගම ඇතුළු තවත් ගම්මාන කිහිපයක පානීය ජල අවශ්‍යතා සපුරාලන ජල ව්‍යාපෘතියට පෝෂණය සපයන පුබ්බිලිය වැව දීර්ඝ කාලයක් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා අපි බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. සම්පත් බැංකුව ඒ හැම දේටම විසඳුමක් ලබා දෙන්න කටයුතු කිරීම ගොවි ජනතාවට ලබා දුන් විශාල ශක්තියක් විදියටයි මම දකින්නේ. දැන් අපිට කරදරයකින් තොරව අපේ ගොවිතැන් කටයුතු කරගෙන යන්න පුළුවන්.” යනුවෙනි.

    මෙම ‘වැවට ජීවයක් ’සමාජ සත්කාරක වැඩසටහන සමඟ ගොවිතැන තුළින් ගොවීන්ට තිරසාර ජීවන රටාවක් උරුම කර දීම මෙන්ම කෘෂිකාර්මික  ව්‍යවසායකයන් සවිබල ගැන්වීම  සඳහාද සම්පත් බැංකුව කටයුතු කරනු ලබයි. ඒ තුළින් ඔවුන් ජාතික සංවර්ධනය සහ ආර්ථික ප්‍රගමනය වෙනුවෙන් දායක කර ගැනීම සම්පත් බැංකුවේ අපේක්ෂාවයි. විශේෂයෙන් ජනතාව, මිහිතලය හා ලාභය යන ප්‍රධාන සාධකයන් පදනම් කරගනිමින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වන මෙරට ජාතික ප්‍රයත්නයට සහයෝගය දැක්වීම සඳහා සුවිසල් කාර්යභාරයක් මෙම වැඩසටහන තුළින් ඉටු කරනු ඇත.

    අභාවයට යමින් තිබෙන වැව් රැසක් ප්‍රතිසංස්කරණය සඳහා 2001 වසරේදී ආරම්භ කළ ‘වැවට ජීවයක්’සමාජ සත්කාරක වැඩසටහන වැඩසටහන හරහා සම්පත් බැංකුව මේ වන විට වැව් 09ක් වෙත ජීවය ලබා දී ඇත්තේ සුවහසක් ගොවි ජනතාවගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් ඍජුවම සිය දායකත්වය ලබා දෙමිනි. ඒ යටතේ  ලුණුගම්වෙහෙර උඩමත්තල වැව (2001) ,තණමල්විල ඉලුක්පැලැස්ස වැව (2002) , හම්බන්තොට කොන්කැටිආර වැව (2002), පඬුවස්නුවර දෙමටව වැව (2014) , නොච්චියාගම හල්මිල්ලකුලම වැව (2017) , කහටගස්දිගිලිය අඹගහවැව (2018) දිවුලන්කඩවල ධාන්‍යාව වැව (2018) බිබිල කින්දගල්ල වැව ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පැවරීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. වැවට ජීවයක් වැඩසටහනේ දසවන පියවර ලෙස 2021 දී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ ආණමඩුව ඇතාවැටුණු වැව නුදුරේදීම යළි ජනතා අයිතියට පැවරීමට නියමිතය.

    සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අදවන විට වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, Slip– less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීම (Touch – less ATM withdrawal)  ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.

    සම්පත් බැංකුවේ නිලධාරින්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ පුබ්බිලිය ගොවි සංවිධානයේ නිලධාරින් විසින් සුබ මොහොතින් මංගල පස් පිඩැල්ල කපා වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අයුරු