සම්පත් බැංකුව 2022 හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී ප්‍රථම අනුශූරතාව හිමිකර ගනිමින් සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරයි

    February, 7, 2023

    සම්පත් බැංකුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘2022 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන’ උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 අතරට එක් වෙමින් සමස්ත සම්මාන උළෙළේ අනුශූරතාවය තමන් සතු කර ගැනීමට සමත්  විය. එසේම ‘ප්‍රජා සම්බන්ධතා’ වෙනුවෙන් වන සම්මානයද හිමිකර ගත් සම්පත් බැංකුව  සමාජ තිරසාරත්ව  අංශය සඳහා වූ  Triple Bottom Line කාණ්ඩයේ මානව සම්පත් සම්මානයේ ජයග්‍රාහකයා බවටද පත් විය.

    ‘2022 විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මාන’උළෙල මෙවර පවත්වනු ලැබුවේ අඛණ්ඩව 19 වැනි වරටය. ආයතනික ඉලක්කයන් සපුරා ගන්නා අතරම පාරිසරික, සමාජීය හා ආර්ථික තිරසාරත්වය වෙනුවෙන් වන විශිෂ්ට භාවිතයන් අනුගමනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය ආයතන දිරිමත් කිරීම අරමුණු කොටගත් මෙම සම්මාන උළෙල සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව මහා පරිමාණ ආයතනයන්ට මෙන්ම කුඩා පරිමාණ ව්‍යවසායන් වෙතද උදා කර දී තිබීම විශේෂත්වයකි. රට තුළ ආයතනික තිරසාරභාවය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් සිය පාර්ශ්වකරුවන් සමඟ වගකීම් සහගත අයුරින් කටයුතු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන් විසින් ගනු ලබන ප්‍රයත්නයන් ඇගයීම මේ තුළින් සිදු කරනු ලබයි. පරිසරය, පාරිභෝගික සබඳතා, ප්‍රජා සබඳතා, යහ පාලනය, මූල්‍ය කාර්ය සාධනය හා ආර්ථික දායකත්වය යනාදී නිර්නායකයන් මූලික කොට ගත් මෙම සම්මානය සඳහා වන ජයග්‍රාහකයින් තෝරා ගනු ලබනුයේ තිරසාරත්වය පිළිබඳ පිළිගත් විශේෂඥ මණ්ඩලයක් විසිනි.

    ශ්‍රී ලංකාවේ උපකාර අවැසි ප්‍රජාවන් කෙරෙහි සම්පත් බැංකුව දක්වන ධනාත්මක නව්‍ය හා සමාජීය ප්‍රතිචාරයන් පසුගියදා පැවති 21 වන SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ ‘වසරේ ආයතනික සමාජ වගකීම්’ සඳහා වන රන් සම්මානය හිමි කර ගැනීමත් සමඟ වඩ වඩාත් කතා බහට ලක් විය. විශේෂයෙන් වසර 20ක් තිස්සේ සම්පත් බැංකුවේ ප්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහන ලෙස දුෂ්කර පළාත්වල ගොවි ජනතාවගේ කෘෂි ආර්ථිකය සවිමත් කිරීම වෙනුවෙන් යල මහ දෙකන්නය සඳහාම අවැසි ජලය සපයා ගැනීමේ පහසුව තහවුරු කරනු වස් අභාවයට යමින් පවතින පැරණි වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ  ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන ඊට සුවිශේෂී දායකත්වයක් දක්වනු ලැබීය. රට තුළ පවත්නා ආර්ථික තත්වය හමුවේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමේ දැඩි අවශ්‍යතාව නිසාම මෙම වැඩසටහන වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දීමට කටයුතු කර ඇති සම්පත් බැංකුව 2022 වසර අවසන් වන විට වාරි පද්ධති 15ක් පමණ ප්‍රතිසංස්කරණය කොට ගොවි ජනතාව වෙත භාර දීමට කටයුතු කර ඇත. සිය ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන ප්‍රදේශයන්හි පාසල් පාදක කොට ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන ‘ගසයි මමයි පුබුදු පොතයි’ රුක් රෝපණ වැඩසටහනෙහි අරමුණ වන්නේ පරිසර හිතකාමී අනාගත පරපුරක් බිහි කිරීමයි. ඉන් නොනැවතී මෙම වැඩසටහන් සාර්ථකත්වය සහ ලැබූ යහපත් ප්‍රතිඵල හේතුවෙන්  පාසල් සිසුන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් පාසල් ගෙවතු වගා වැඩසටහනක්ද දියත් කරනු ලැබීය.

    තවද සම්පත් බැංකුව විසින් දීර්ඝ කාලීන සමුද්‍ර වැඩසටහනක් ලෙස කොරල් පර නැවත වගා කිරීම වෙනුවෙන් ‘සයුරට හුස්මක්’ නමින් සමාජ සත්කාරක වැඩසටහනක් ආරම්භ කරන ලදී. ඒ අනුව ගොඩබිම කඩොලාන තෙත් බිම් නැවත වගා කිරීමේ වගකීමද තමන් යටතට ගනිමින් කඩොලාන ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැඩසටහනක් පුත්තලම දිස්ත්‍රික්කයට අයත් ආනවිලුන්දාව තෙත්බිම් අභය භූමියේ හෙක්ටයාරයක පමණ භූමි ප්‍රදේශයක ක්‍රියාත්මක කර ඇත. එසේම වන ජීවී දෙපාර්තමේන්තුව සමඟ එක්ව කැස්බෑවුන් සංරක්ෂණය කිරීමේ තවත් වැදගත් වැඩසටහනක් ආරම්භ කර ඇති සම්පත් බැංකුව ඒ යටතේ ලොව වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින කැස්බෑවුන් වර්ග 5ක් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ රැකව ප්‍රදේශයේ කැස්බෑ අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකිරීමටද කටයුතු කර ඇත.

    සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීම (Touch-less Cash withdrawal) ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.

    ඡායාරූප විස්තරය - සම්පත් බැංකුව විසින් 2022 ‘ විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේ ප්‍රථම අනුශූරතාවය සඳහා වන සම්මානය දිනාගත් මොහොත. එම අවස්ථාවට එක් වූ සම්පත් බැංකුවේ දර්ශින් පතිනායක - සහකාර සාමාන්‍යාධිකාරී - කාඩ් මධ්‍යස්ථාන, දීපාල් ද සිල්වා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -මෙහෙයුම් හා ශාඛා බැංකුකරණ, ලලිත් වේරගොඩ - ප්‍රධාන නිලධාරී - මානව සම්පත්, අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා - කළමනාකාර අධ්‍යක්ෂ - යෝජිත, තාරක රන්වල - ජ්‍යෙෂ්ට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ඩිජිටල්කරණය, තැන්පතු ප්‍රවර්ධන හා අලෙවිකරණය, දුල්සිරි ජයසිංහ - සහකාර සාමාන්‍යාධිකාරිණී - විශේෂ ව්‍යාපෘති හා සම්මේල නය, ක්‍රිශාන්ති ලොකුහෙට්ටි - ප්‍රධාන කළමනාකාරිණී - මානව සම්පත්, පූජිත රාජපක්ෂ - ප්‍රධාන කළමනාකාර - අලෙවිකරණ යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.