සයින්ලයිට් ප්‍රචාරණ වැඩසටහන සමගින් මයින්ඞ්ෂෙයා ආයතනය 2015 එෆී සම්මාන උළෙලේ වාර්තා පිහිටුවයි

    May, 17, 2016

    2015 එෆී සම්මාන උළෙලේදී (Effie Awards) නව වාර්තාවක් පිහිටුවමින් මෙරට දැන්වීම් ක්ෂේත‍්‍රයේ සිය පුරෝගාමීත්වය නැවත වරක් තහවුරු කිරීමට Mindshare Team Unilever පසුගියදා සමත් විය.

    සම්මාන උළෙලේදී ආයතනයට හිමිවූ සම්මාන ගණන 7 කි. පාරිභෝගික හදවත් තුළ පහන් සිතිවිලි අවදි කරමින් නිර්මාණශීලී ලෙස ශක්තිමත් හා සාර්ථක ප‍්‍රවර්ධන වැඩසටහනක් ගොඩනැංවීමට ආයතනය සමත් වීම මෙහිදී එෆී සම්මාන විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රශංසාවට ලක් විය.

    ”පසුගිය මාස 6 ක පමණ කාලය තුළ අපේ කණ්ඩායම අත්පත් කරගත් සාර්ථකත්වය හරිම සුවිශේෂයි. අපේ අදහස් හා සංකල්ප සමග කණ්ඩායම් හැඟීම එක්තැන් කරමින්, කණ්ඩායමක් ලෙස එකට වැඩකරමින් සෑම තරාතිරමකම ශ‍්‍රී ලාංකිකයන්ගේ හදවත්වලට සැබැවින්ම සමීප වන ජනමාධ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහන් නිර්මාණය කරන්නට අපට හැකියාව ලැබුණා. මේ සාර්ථකත්වය වෙනුවෙන් අපගේ පාරිභෝගක සේවා ප‍්‍රධානී බක්මී පෙරේරා ඇතුළුව සමස්ත කණ්ඩායමටම මගේ කෘතඥතාව පළකරන්නට මා මෙය අවස්ථාවක් කරගන්නවා. මේ ආකාරයට සන්නාම සහ ඒවායේ පාරිභෝගිකයන් අතර අවංක හා අර්ථවත් සම්බන්ධතා ගොඩනැංවීමට හැකිවීම අපේ සාර්ථකත්වයට ප‍්‍රධාන හේතුවක්. ඉදිරියටත් මෙවැනි පුරෝගාමී වැඩසටහන් නිර්මාණය කිරීම අපේ ඉලක්කයයි.” මයින්ඞ්ෂෙයා හි ප‍්‍රධානී ප‍්‍රසංග ජයතුංග මහතා පැවසී ය.

    ”අලෙවි හා සන්නිවේදන ක‍්‍රමෝපායන් නිර්මාණය කිරීමේදී මාධ්‍ය ආයතන සතු කාර්යභාරය නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතිනවා. මේ ආකාරයට ක්ෂේත‍්‍රයට නව ආදර්ශ සපයන නව වැඩසටහන් දිගින් දිගටම නිර්මාණය කිරීමට මයින්ඞ්ෂෙයා ආයතනයට හැකිවනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි. ශ‍්‍රී ලාංකිකයන් සන්නාම සමග ගනුදෙනු කරන ආකාරය එන්න එන්නම සංකීර්ණ වෙමින් පවතින බව අපට පෙනී යනවා. මෙහිදී වැඩි පාරිභෝගික පිරිසක් වෙත සමීප වීම සඳහා තාක්ෂණය හොඳින් භාවිතා කරන ආයතනවලට සාර්ථකත්වය සඳහා වැඩි අවස්ථා හිමි වේවි. Mindshare Team Unilever නිර්මාණය කළ මේ වැඩසටහන හා එහි සාර්ථකත්වය මා බෙහෙවින් අගය කරනවා. ඉදිරියේදී තවත් මෙවැනි සුවිශේෂී වැඩසටහන් නිර්මාණය වෙනු දැකීම මගේ බලාපොරොත්තුවයි.” GroupM හි ප‍්‍රධාන විධායක නිලධාරී සබ්රි හනිස් පැවසී ය.

    වාර්තා පිහිටුවීමට සමත් වීමට අමතරව මෙම වැඩසටහනේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ ක්ෂේත‍්‍රයේ සාමාන්‍ය සම්ප‍්‍රදායට වෙනස්ව, මූලික වශයෙන් මාධ්‍ය ආයතනයක් වන මයින්ඞ්ෂෙයා විසින් මෙම වැඩසටහන සැලසුම් කර ක‍්‍රියාවට නැංවීමයි. ඒ අනුව එෆී සම්මාන ඉතිහාසයේ රන් සම්මානයක් හිමිකරගත් ප‍්‍රථම මූලික මාධ්‍ය ආයතනය බවට මයින්ඞ්ෂෙයා පත් විය.

    ”අපේ මූලික මාධ්‍ය ආයතනය ලෙස මයින්ඞ්ෂෙයා ආයතනය මෙවැනි සුවිශේෂී ජයග‍්‍රහණයක් අත්පත් කරගැනීම අපට ආඩම්බරයක්. සන්ලයිට් ප‍්‍රවර්ධන වැඩසටහන පෙර නොවූවිරූ ආකාරයට මිලියන ගණනක් ශ‍්‍රී ලාංකිකයන්ගේ හදවත්වලට සමීප වීමට සමත් වුණා. එයට ලොව පුරා විවිධ සම්මාන උළෙලවල්වලදී සම්මාන හිමිවීම අපට විශාල සතුටක්.

    ”ඒ වගේම අනෙක් සියලූම යුනිලීවර් ප‍්‍රචාරණ වැඩසටහන් සඳහාත් සම්මාන හිමිවීමට මයින්ඞ්ෂෙයා ආයතනය විශාල මෙහෙවරක් ඉටුකළා. යුනිලීවර් සමාගමට ‘වසරේ අලෙවිකරු’ සම්මානය හිමිවීමටත් ඔවුන්ගෙන් ලැබුණු දායකත්වය සුවිශේෂයි. අනාගතයේදී මයින්ඞ්ෂෙයා ආයතනය තවතවත් දියුණු වනු ඇති බවට කිසිම සැකයක් නැහැ.” යුනිලීවර් සමාගමේ මාධ්‍ය හා සක‍්‍රීයකරණ ප‍්‍රධානී චන්න තෙන්නකෝන් මහතා පැවසී ය.

    එෆී සම්මාන උළෙලේදී මෙසේ සම්මාන හිමිවීමට පෙර ජාත්‍යන්තර සම්මාන උළෙලවල් කිහිපයකදීම සම්මාන දිනාගැනීමට Mindshare Team Unilever සමත් විය. 2016 පෙබරවාරි මාසයේ Goa Fest හිදී ආයතනය ඇගයීමට ලක්වූ අතර Festival of Media Awards APAC හිදී ජංගම දුරකථන කාණ්ඩය යටතේ ආයතනයට ලෝකඩ සම්මානයක්ද හිමිවිය. එමෙන්ම මෑතකදී පැවති SLIM Nielsen සම්මාන උළෙලේදී සහ Smarties APAC සම්මාන උළෙලේදීද ආයතනය ඇගයීමට ලක්වීම විශේෂත්වයකි.

    මයින්ඞ්ෂෙයා යනු ‘ගෲප් එම්’ (GroupM) හි මාධ්‍ය ආයෝජන කළමනාකරණ මෙහෙයුම් කි‍්‍රයාවලියට අනුබද්ධ ආයතනයකි. එය යුනිලීවර්, එටිසලාට්, GSK සහ AMW වැනි සමාගම් රැසක් සඳහා ජනමාධ්‍ය ආයෝජන සහ සන්නිවේදන සැලසුම්කරණ කටයුතු සිදුකරයි.