ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම Greenhouse Gas (GHG) සහතිකය හිමිකරගත් මෙරට පළමු ඇලුමිනියම් නෙරවුම් නිෂ්පාදන සමාගම බවට පත් වෙයි

    September, 11, 2023

    ලාංකේය ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම පසුගියදා සිය නිෂ්පාදන මෙහෙයුම්වල පරිසර හිතකාමී බව තහවුරු කරන ‘හරිතාගාර වායු විමෝචනය’ හෙවත් Greenhouse Gas (GHG) Verification සහතිකකරණයෙන් පිදුම් ලැබීය. මෙම ගෞරවනීය සහතිකකරණය හරහා එය ප්‍රදානය කළ පිවිතුරු නිෂ්පාදනකරණය සඳහා වන ජාතික මධ්‍යස්ථානය (National Cleaner Production Centre) විසින් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම සිය හරිතාගාර වායු විමෝචනය අන්තර්ජාතික වශයෙන් පිළිගත් ISO 14064-3:2019  ප්‍රමිතියට අනුකූලව ‘තෘප්තිමත්’ මට්ටමට ගණනය කර ඇති බව සහතික කර ඇත.

    ISO 14064-3:2019 ප්‍රමිතිය යනු ප්‍රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය (ISO) විසින් හරිතාගාර වායු සත්‍යාපනය සඳහා මාර්ගෝපදේශනය සපයන ප්‍රමිතිකරණ ක්‍රියාවලිය වන අතර මෙම සහතිකය පිවිතුරු නිෂ්පාදනකරණයක් සඳහා වන ජාතික මධ්‍යස්ථානය විසින් ස්වාධීනව සිදු කරන දැඩි ඇගයීම් ක්‍රියාවලියක් හරහා පිරිනැමෙයි. මෙම ඇගයීම් ක්‍රියාවලිය සමාගමක නිෂ්පාදන ක්‍රියාවලිය හරහා සිදු කෙරෙන හරිතාගාර වායු බැහැර කිරීමට අදාළ සියලු දත්ත හා තොරතුරුවල නිරවද්‍ය බව හා විශ්වාසනීයත්වය තහවුරු කර පූර්ණ විශ්ලේෂණයකට භාජනය කරමින් සිදු කරන දැඩි ඇගයීම් ක්‍රියාවලියකි.

    ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරිඳු අතපත්තු මහතා මෙම සහතිකකරණය හිමිවීම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය “ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම තිරසාරත්වය කේන්ද්‍ර කරගෙන ව්‍යාපාර මෙහෙයුම් සිදු කරන සමාගමක්. ව්‍යාපාරයේ සෑම අංශයකම තිරසාරත්වය සහ පරිසර හිතකාමී බව තහවුරු කිරීම සඳහා අපි දීර්ඝ කාලයක් පුරා, අඛණ්ඩව, ඉතා කැපවීමෙන් කටයුතු කර තිබෙනවා. GHG සහතිකකරණය හිමිවීම අපේ ඒ කැපවීම වෙනුවෙන් ලැබුණු ගෞරවනීය ඇගයීමක්.”

    ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම තිරසාරත්වය වෙනුවෙන් කරන කැපවීමට එම සමාගම ඒ වෙනුවෙන් සිදුකරන දැවැන්ත ආයෝජනයන් උදාහරණ වශයෙන් දැක්විය හැකිය. මෑතකදී සමාගම විසින් රුපියල් මිලියන 156.5ක පිරිවැයක් දරමින් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට කිලෝ වොට් පැය මිලියන 2.1 ක් එකතු කළ හැකි ආකාරයට ස්ථානපනය කරන ලද සූර්ය පැනල පද්ධතිය එවන් එක් දැවැන්ත ආයෝජනයකි. ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම තිරසාරත්වය වෙනුවෙන් දක්වන මේ කැපවීම ඇගයුමට ලක් කරමින් මෑතකදී ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය විසින් සමාගමේ බලශක්ති කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් ISO 50001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කරන ලද අතර එම සහතිකකරණයෙන් පිදුම් ලද දේශීය ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පළමු සමාගම ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම වීම විශේෂත්වයකි.

    ISO 14064-3:2019 ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව GHG සහතිකකරණය හිමිවීම ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ තිරසාර ගමන් මගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර ඒ හරහා පරිසර හිතකාමීත්වය වෙනුවෙන් කැපවුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වශයෙන් සමාගම අත්පත් කරගෙන ඇති අද්වීතීය ස්ථානය තව දුරටත් තහවුරු වෙයි. මානව සමාජයේ තිරසාරත්වය වෙනුවෙන් සාධනීය කාර්යභාරයක් ඉටුකරමින් සිය තිරසාර මෙහෙවර ඉදිරියටත් අඛණ්ඩවම පවත්වාගෙන යාම ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ අපේක්ෂාවයි.  

    2009 වසරේදී ආරම්භ කරන ලද ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම දිවයිනේ කීර්තිමත්ම ව්‍යාපාර සමූහයක් වන වැලිබල් වන් පී.එල්.සී සමූහයට අයත් ලංකා ටයිල් සමාගමට අනුබද්ධිත සමාගමකි. දේශීය ඇලුමිනියම් නිස්සාරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම වාණිජ සහ කාර්මික ඉදිකිරීම්, පුද්ගලික නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති ඇතුලු ක්ෂේත්‍ර ගණනාවකට අවශ්‍ය Anodizing, Mill finish, Powder coating සහ Wood finish ආදී ඇලුමිනියම් නිෂ්පාදන වර්ග ගණනාවක් ඉතා පුළුල් වර්ණ පරාසයකින් ලබා දීම වෙනුවෙන් නම් දැරූ සමාගමකි. සියලු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිය නිෂ්පාදනයන් සිදු කරන සමාගමක් වශයෙන් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම ලොව පුරා කීර්තිමත් සමාගම් රැසකට ද නිෂ්පාදන සමාගමක් වශයෙන් කටයුතු කරමින් දේශීය ඇලුමිනියම් ක්ෂේත්‍රයට විශාල කීර්තියක් අත් කර දී ඇත.