සැප්තැම්බර් මස පැවැත්වෙන කොළඹ මැරතන් 2026 තරගාවලියට ලෝක මලල ක්‍රීඩා සංගමයේ නිල පිළිගැනීම හිමිවෙයි

    August, 25, 2026

    ලෝක ශ්‍රේණිගත කිරීමේ (World Rankings) තරගාවලියක් ලෙස කොළඹ මැරතන් තරගාවලිය ලෝක මලල ක්‍රීඩා සංගමයේ නිල ගෝලීය දින දර්ශනයට එක්වීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කරයි.

    තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන "කොළඹ මැරතන් 2026" තරගාවලිය සඳහා ඉදිරිපත් කළ අයදුම්පත ලෝක මලල ක්‍රීඩා සංගමය (World Athletics) විසින් අනුමත කර ඇති අතර, ඒ අනුව මෙය ලෝක ශ්‍රේණිගත කිරීමේ (World Rankings) තරගාවලියක් ලෙස ලෝක මලල ක්‍රීඩා සංගමයේ නිල ගෝලීය දින දර්ශනයට ඇතුළත් කර ඇත.

    කොළඹ මැරතන් 2026 තරගාවලිය 2026 සැප්තැම්බර් 13 වන දින පෙ.ව. 6.00 ට කොළඹ බාලදක්ෂ මාවතෙන් ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත අතර, එය ප්‍රධාන කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වේ. ඒ පූර්ණ මැරතන් තරගය (කි.මී. 42), අර්ධ මැරතන් තරගය (කි.මී. 21), කිලෝමීටර 10 මාර්ග තරගය සහ කිලෝමීටර 5 විනෝද දිවීම (Fun Run) වශයෙනි.

    මෙම නිල ජාත්‍යන්තර පිළිගැනීමත් සමග, මෙම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතා ලෝක මලල ක්‍රීඩා සංගමයේ නිල ලෝක ශ්‍රේණිගත කිරීම් (World Rankings) සඳහා එකතු කර ගැනීමට සුදුසුකම් ලබයි. මෙය ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම මව්බිමේදීම ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රේණිගත කිරීම් තරගාවලියකට තරග කිරීමට ලැබෙන අගනා අවස්ථාවක් වන අතර, විදේශීය ක්‍රීඩකයන්ටද පිළිගත් ජාත්‍යන්තර තරගාවලියකට එක්වීමට මග පාදයි.

    ලෝක ශ්‍රේණිගත කිරීමේ තරගාවලියකට අදාළ තාක්ෂණික ප්‍රමිතීන්ට අනුකූලව තරග මාවත මැනීම, සංවිධාන කටයුතු සහ තාක්ෂණික කළමනාකරණය තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥයන්ගේ සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

    ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සුදුසුකම්ලත් නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් තරගයේ විනිශ්චය සහ තාක්ෂණික කටයුතු සඳහා එක්වන අතර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනය එක්ව තරග මාවතේ ආරක්ෂාව, වෛද්‍ය පහසුකම් සහ මෙහෙයුම් කටයුතු ඉහළම ප්‍රමිතියෙන් සංවිධානය කරයි.

    "ලෝක මලල ක්‍රීඩා සංගමයේ ගෝලීය දිනදර්ශනයට ඇතුළත්ව ලෝක ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පිළිගැනීම හිමිවීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ලැබූ විශාල ජයග්‍රහණයකි. එමගින් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදේශගත නොවී තම මව්බිමේදීම ජාත්‍යන්තර ප්‍රමිතියේ තරගයකට එක්වීමට අවස්ථාව ලැබෙන අතර, ජාත්‍යන්තර ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රය තුළ කොළඹ නගරය ඉදිරියට ගෙන යාමටද මෙය මහෝපකාරී වේ."

    ජාතික ඔලිම්පික් කමිටුව හා එක්ව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන කොළඹ මැරතන් 2026 තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස Union Assurance ආයතනය කටයුතු කරන අතර, Elephant House ආයතනය, Nations Trust Bank සහ City of Dreams Sri Lanka යන ආයතනයන්ගේ සහයෝගීතාවයෙන් පැවැත්වේ. මෙහි නිල මාධ්‍ය සහකරු ලෙස රූපවාහිනී නාලිකාවද, නිර්මාණාත්මක සහකරු ලෙස DC Group ද, ශක්තිජනක සහකරු ලෙස Nestomalt ද, ක්‍රීඩා නවෝත්පාදන සහකරු ලෙස IPG Group ද කටයුතු කරයි.

    ලියාපදිංචිය සහ විමසීම්:

    වෙබ් අඩවිය: www.colombomarathon.lk

    විමසීම්: ජයලාල් රත්නසූරිය මහතා (+94 71 812 8900) |  තුෂාර පෙරේරා මහතා (+94 71 837 5993)

    විද්‍යුත් තැපෑල: colombomarathon@gmail.com

    (ලියාපදිංචිය 2026 සැප්තැම්බර් 01 වන දිනෙන් අවසන් වේ.)