සිගරට් දුමෙන් වැසෙන රාජ්‍ය ආදායම

    August, 1, 2018

    • 2018 මුල් මාස 03 ට ආණ්ඩුවේ සිගරට් බදු ආදායම රු. බිලියන 30 ඉක්මවයි.

    • සිගරට් මිල වැඩිවෙද්දී රට තුළ නීතිවිරෝධී සිගරට් අලෙවිය වැඩිවෙලා.

    • දුම්පානය අඩුකිරීම සඳහා බදුකරණය මගින් සිගරැට් මිල වැඩිකිරීම එතරම් දායකත්වයක් ලබා දී නැහැ - පර්යේෂණයකින් හෙළිවෙයි.

    යළිත් වතාවක් සිගරට් බදු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටියක් සඳහා අයකරනු ලබන රජයේ බදු මුදල රු. 3.80 කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශ්‍ය නිවේදනය කර ඇත. මීට සමගාමීව දුම්වැටියක මිල ද රු. 5.00 කින් ඉහළ දමනු ලබන බව අද දෙරණ Biz කළ විමසීමක දී  ලංකා දුම්කොළ සමාගම තහවුරු කර සිටියේය.

    සිගරට් බද්ද වැඩිකරනු ලබන සෑම අවස්ථාවක දීම රජය විසින් පුන පුනා ගායනා කරනු ලබන පද කිහිපයක් තිබේ. එනම් සිගරට් හරහා රජයට ලැබෙන බදු ආදායමට වඩා වැඩි වියදමක්, සිගරට් හේතුවෙන් රෝගාබාධවලට ලක්ව රෝහල්ගත කරනවුන් වෙනුවෙන් රජයට දැරීමට සිදුව ඇති බවයි. නමුත් මෙය නිශ්චිතව සංඛ්‍යාලේඛන සහිතව තහවුරු කරන ලද්දක් නොවේ.

    ශ්‍රී ලංකාව තුළ දුම්කොළ නිෂ්පාදිත, නිෂ්පාදනය හා බෙදාහැරීම සඳහා බලයලත් එකම සමාගම් වන්නේ ලංකා දුම්කොළ සමාගමයි. ලංකා දුම්කොළ සමාගමේ පසුගිය 2018 මාර්තු 31 න් අවසන් කාර්තුව තුළ දී රජයට ගෙවා ඇති සම්පූර්ණ බදු වටිනාකම රුපියල් මිලියන 30,033 කි. ඒ රුපියල් මිලියන 27,542 ක් රජයේ දුම්කොළ බදු හා රුපියල් මිලියන 2,491 ක් ආදායම් බදු වශයෙනි.

    මෙහිදී දුම්කොළ සමාගම පවසන්නේ 2017 මුල් කාර්තුව හා සැසඳීමේදී මෙම කාර්තුව තුළ දී රාජ්‍ය ආදායමට කර ඇති දායකත්වය 15.5% කින් වැඩි වී ඇති බවයි. එසේම 2017 වර්ෂයේ දී රුපියල් මිලියන 117,300 ක ආදායමක් දුම්කොළ සමාගම විසින් රජයට ලබා දී ඇත. එනම් රුපියල් බිලියන 117.3 කි.  රජයේ සමස්ත බදු ආදායමෙන් 7% ක් ලැබෙන්නේ දුම්කොළ සමාගමෙනි.

    සිගරට් බදු ඉහළ දැමීමට සමාගමීව සිගරට් මිල ද ඉහළ යන බැවින්, එය රට තුළ නීති විරෝධී සිගරට් අලෙවිය ඉහළ යාමට හේතුවී ඇති බව ලංකා දුම්කොළ සමාගම 2017 දෙසැම්බර් කාර්තුව වෙනුවෙන් නිකුත් කරන ලද මූල්‍ය වාර්තාවේ දක්වා ඇත. ඔවුන් පමසන්නේ රට තුළ මිලියන 450 ක පමණ නීතිවිරෝධී දුම්වැටි ප්‍රමාණයක් සංසරණය වන බවයි. 2017 වසර තුළ දී නීතියේ රැහැනට හසුකර ගෙන තිබෙන නීතිවිරෝධී දුම්වැට් වැටලීම් ප්‍රමාණය 2,500 ඉක්මවා තිබේ. මේ හරහා මිලියන 50 කට අධික නීතිවිරෝධී දුම්වැටි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අතර මෙරට ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන Research Intelligence Unit (RIU) විසින් එළි දක්වන ලද දුම්කොළ නිෂ්පාදන කර්මාන්තය සම්බන්ධයෙන් සිදුකල අධ්‍යයනයක් පදනම් කර ගනිමින් Research Intelligence Unit (RIU) හි, නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී, රොෂාන් මඩවල මහතා විසින් අනාවරණය කළේ, ආසියානු පැසිෆික් කළාපයේ සිගරට් මිල වැඩිම රට වන්නේ ලංකාව බවත්, ලෝකයේ දෙවැනියට වැඩිම සිගරට් මිලක් ඇති රට වන්නේද ලංකාව බවත්ය. මේ නිසා, ලංකාවේ මෙම කර්මාන්තය ජාවාරම්කරුවන්ගේ පරාදීසයක් බවට පත්වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    මෙම අධ්‍යයනය සම්බන්ධයෙන් Research Intelligence Unit (RIU) විසින් නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වෙයි.

    “රටක පිස්කල් සහ බදුකරණ ප‍්‍රතිපත්තිය යනු සාර්ව ආර්ථික ප‍්‍රතිපත්තියේ සහ තිරසර ආර්ථික වර්ධනයේ, විශේෂයෙන්ම රජයේ ආදායම, රාජ්‍ය ණය මෙන්ම සම්පත් වෙන්කිරීම සහ ආර්ථික ස්ථායිතාවය වැනි අංශවල ප‍්‍රධාන අංගයකි. දුම්කොළ නිෂ්පාදන පිළිබඳව ඕනෑම රජයක ප‍්‍රතිපත්තිය ඉතාමත් වැදගත් අරමුණු දෙකක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සකස්විය යුතුය. මෙහිදී, පළමු වැන්න වනුයේ ජනතාව දුම්කොළ නිෂ්පාදන පරිභෝජනය කිරීමේදී ඔවුන්ට ඇතිවන සෘණාත්මක සෞඛ්‍ය බලපෑම අඩු කිරීමයි. දෙවැන්න වන්නේ රජයේ ආදායමට වැඩිම ආදායමක් එක්කරන අංශයක් ලෙස මෙම කර්මාන්තයෙන් රජයේ ආදායමට එක්වන බදු ආදායම ආරක්ෂා කර ගැනීමයි. මෙම අරමුණු දෙක සමබරව පවත්වාගෙන යාමට අපොහොසත් වන ජාතික ප‍්‍රතිපත්තියක් මගින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම මහා භාණ්ඩාගාරයේ ආදායම් තත්ත්වය ද දුර්වල වීම සිදුවනු ඇත.“

    එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    ශ‍්‍රී ලංකා රේගුවට අනුව වංචා සහගත අයුරින් මෙරටට ගෙන්වන සිගරට් ප‍්‍රමාණයෙන්, සොයාගැනීමට හා රාජසන්තක කරගැනීමට හැකි වී තිබෙන්නේ 1/10 ක් තරම් සුළු ප‍්‍රමාණයකි. සමහර අවස්ථාවලදී මෙරටට නීති විරෝධී ආකාරයෙන් ගෙන්වන විශාල සිගරට් තොග රාජසන්තක කරමින් අදාළ ජාවාරම්කරුවන්ට දඩ පැනවූවත්, එය අපරාධ ක‍්‍රියාකාරකම් මැඩලීම සඳහා ප‍්‍රමාණවත් නොවේ. මේ ආකාරයෙන් නීති විරෝධී දේශසීමා ක‍්‍රියාකාරකම් වර්ධනය වෙද්දී Research Intelligence Unit (RIU) විසින් නිරීක්ෂණය කර තිබෙන්නේ, සිගරැට් වලට වඩා දරුණු මත්ද්‍රව්‍ය මෙම ජාවාරම්කරුවන් විසින් මේ ආකාරයෙන්ම රට තුළට රැගෙන ඒමේ ප‍්‍රවණතාවයේ වර්ධනයක් ඇති වන බවයි. Research Intelligence Unit (RIU) විසින් දුම්කොළ කර්මාන්තය පිළිබඳව සිදුකළ මෙම සමීක්ෂණයේදී මෙම සම්බන්ධතාවය අනාවරණය කර ගැනීමද විශේෂ කරුණක් බවට පත්විය.

    මෙම සමීක්ෂණයේදී අදාළ වන රජයේ අධිකාරීන්, ආයතන, නායකයින්, බදුකරණය පිළිබඳ විශේෂඥයින් සහ කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සමග එකින් එක සාකච්ඡා සිදුකර ඇත. මීට අමතරව, දුම් පානය කරන්නන් (සිගරට් හෝ බීඩි) 120 දෙනෙකුගෙන් යුතු නියැදියක් සහ දුම්වැටි අලෙවිකරන වෙළෙඳුන්ද සහභාගී කරවා ගනිමින් මෙහිදී පාරිභෝගික සමීක්ෂණයක්ද සිදුකර තිබේ.

    පසුගිය වසර ගණනාව තුළදී ශ‍්‍රී ලංකාව විසින් සිගරට් සඳහා අධික බදු පැනවීම නීති විරෝධී ආකාරයෙන් ගෙන්වන සිගරැට් වැඩිවීම සඳහා යම් බලපෑමක් කර තිබෙන අතර, මේ තුළින් වෙළඳපොළ අර්බුදය නිර්මාණය වී තිබේ. තව දුරටත් පෙනෙන කාරණය වන්නේ 2009 වසරේ සිට 2015 දක්වා සිගරට් සඳහා යම් ස්ථාවර ප‍්‍රමාණයකින් බදු වැඩි වුවද, 2016 වසරේදී විශාල ලෙස බදු වැඩිකිරීම හමුවේ නිතී විරෝධී දුම්වැටි කර්මාන්තයේ විශාල වර්ධනයක් ඇති වීමයි. මෙයින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ මුදල් අමාත්‍යංශයේ බලාපොරොත්තු වන අරමුණු දෙකම සාක්ෂාත් කර ගැනීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

    ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතන යෝජනා කර තිබෙන ආකාරයට බදු 10% කින් වැඩිකරන විට අඩු සහ මධ්‍යම ආදායම් ලාභී රටවල දුම්පානය 8% කින් පමණ පහළ යනු ඇත. කෙසේවෙතත්, ශ‍්‍රී ලංකා වෙළඳපල තුළ බීඩි සහ නීති විරෝධී ආකාරෙයන් ගෙන්වන ලද සිගරට් ඉතා අඩු මිලදී ගැනීමට හැකි තත්ත්වයක් තිබියදී, ජාත්‍යන්තර ප‍්‍රතිපත්තීන් ශ‍්‍රී ලංකාව තුළ ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කල නොහැකි පරිසරයක් නිර්මාණය වී ඇති බවයි. මේ අනුව, සඳහන් කළ හැක්කේ ජාත්‍යන්තර ආයතන සඳහන් කරන පරිදි, ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ දුම්පානය අඩුකිරීම සඳහා බදුකරණය මගින් සිගරැට් මිල වැඩිකිරීම එතරම් දායකත්වයක් දක්වා නොමැති බවයි.

    මෙම සමීක්ෂණය මගින් ආනාවරණය කරගත් කරුණු වලට අනුව පහත පරිදි වැදගත් නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කළ හැකිය.

    1. රජය සහ පුද්ගලික අංශයද අයත්වන පරිදි මෙම ක්ෂේත්‍රයේ සියළුම ප‍්‍රධාන කණ්ඩායම් ඇතුළත් වන බහු-පක්ෂ උපදේශන කණ්ඩායමක් නිර්මාණය කිරීම.
    2. දුම්කොළ නිෂ්පාදන බදුකරණය දේශපාලනීකරණයෙන් මුදවා, තාර්කික, සමබර සහ සමීක්ෂණය මත පදනම් වූ ප‍්‍රතිපත්ති රාමුවක් ඒ සඳහා ඇතිකිරීම.
    3. ජාත්‍යන්තර ආයතන පවසන දෑ ඒ ආකාරයෙන්ම පිළි නොගනිමින්, දේශීය ස්වභාවය මනාව තේරුම් ගනිමින් ජර්මනිය, පකිස්තානය සහ අනිකුත් රටවල් මෙම ගැටලූව විසඳාගෙන තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රවේශය පිළිබඳව අවධානය යොමුකිරීම.
    4. සෞඛ්‍ය ඉලක්ක ජයගැනීම සඳහා බදුකරණය පිළිබඳව පමණක් විශ්වාසය නොතබා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම වැනි ඉතා වැදගත් ප‍්‍රතිපත්තිමය ක‍්‍රියා මාර්ග පිළිබඳව සලකා බැලීම.
    5. බීඩි වැනි ආශ‍්‍රිත කර්මාන්ත පිළිබඳ ප‍්‍රතිපත්තිය නැවත විමර්ශනයට ලක් කිරීම.
    6. නීති විරෝධී ආකාරයෙන් ගෙන්වීම පිළිබඳව ඇති ප‍්‍රතිපත්තිය නැවත විමර්ශනයට ලක් කිරීම.

    Research Intelligence Unit (RIU) ආයතනය විසින් පුළුල් අධ්‍යයනයක් මගින් සිදුකර තිබෙන මෙම නිර්දේශ කොතරම් දුරකට බලධාරීන් විසින් පිළිගෙන තිබෙනවා දැයි යන්න පිළිබඳ පසුවිපරමක් කිරීම වැදගත් ය.

    එසේ නැතහොත් දුම්කොළ නිෂ්පාදන පරිභෝජනය කිරීමේදී ජනතාවට ඇතිවන සෘණාත්මක සෞඛ්‍ය බලපෑම අඩු කිරීම හා රජයේ ආදායමට වැඩිම ආදායමක් එක්කරන අංශයක් ලෙස මෙම කර්මාන්තයෙන් රජයේ ආදායමට එක්වන බදු ආදායම ආරක්ෂා කර ගැනීම යන සංරචක දෙකෙහි සමබරතාවය පවත්වා ගැනීමට රජය අපොහොසත් වීම හරහා ආර්ථික මෙන්ම සාමාජයීය ප්‍රතිවිපාක රැසකට ද මුහුණ දීමට ශ්‍රී ලංකාවේ අපට සිදුවනු ඇත.