සිගරට් වර්ග කිහිපයක අලෙවිය නවතී

    November, 21, 2023

    ලංකා දුම්කොළ සමාගම විසින් බෙදාහරිනු ලබන සිගරට් වර්ග තුනක අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා තිබේ.

    ඒ අනුව Dunhill Switch, Dunhill Double Capsule සහ John Player Gold Pro Cool යන සන්නාමයන්ගෙන් එන සිගරට් වර්ගවල අලෙවිය මේ අනුව නවතා දැමීමට කටයුතු කර ඇත. ලංකා දුම්කොළ සමාගම පවසන්නේ 2023 නොවැම්බර් 17 දින සිට මෙම පියවර ගෙන ඇති බවයි.

    අධිකරණ නියෝගයක් හේතුවෙන් මෙලෙස ඉහත කී සිගරට් සන්නාමයන්ගේ අලෙවිය නවතා ඇති බවත් අදාළ කරුණ සම්බන්ධයෙන් අභියාචනය කිරීමට කටයුතු කරන බවත් ලංකා දුම්කොළ සමාගම මේ සම්බන්ධයෙන් සඳහන් කරයි.

    මේ අතර වහාම මෙම සිගරට් වර්ග අලෙවිය නවතන ලෙසත්, වෙළෙඳසැල්වල පාරිභෝගිකයන් හට ප්‍රදර්ශනය වන ආකාරයෙන් මෙම සිගරට් පැකට් තබා ඇත්නම් ඒවා ඉවත් කරන ලෙසත් ලංකා දුම්කොළ සමාගම සිය සිල්ලර අලෙවිකරුවන් වෙත දැනුම් දී සිටී.