සියලු කොටස් ඒකක 30 කින් පසුබසිද්දී දෛනික පිරිවැටුමෙන් 86%කට ජෝන් කීල්ස් වග කියයි

    November, 6, 2018

    ඊයේ (05) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල පහළ යාමක් වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 30.12 කින් පහළ ගොස් ඒකක 6,062.09 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 17.85 කින් පහළ ගොස් ඒකක 3,190.58 ක් ලෙසින් සටහන් විය.

    මෙහිදී කැපී පෙනෙන කරුණ වූයේ රුපියල් බිලියන 4.12 ක පිරිවැටුමක් දෛනික ගනුදෙනුවලින් වාර්තා වී තිබීමයි. 2018 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබෙන දෛනික සාමාන්‍ය පිරිවැටුම වූ රුපියල් මිලියන 814.7 මෙන් එය පස්ගුණයකි.

    ඊයේ දින වාර්තා වූ රුපියල් බිලියන 4.12 ක්වූ දෛනික පිරිවැටුමෙන් රුපියල් බිලියන 3.55 ක්ම වාර්තා වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් ගනුදෙනු හරහා ය. මෙහිදී සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු තුළින් රුපියල් බිලියන 3.4 ක්ද, ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවලින් රු. මිලියන 145 ක්ද ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ඉදිරියෙන් සටහන්ව තිබුණි.

    මේ අනුව සමස්ත පිරිවැටුමෙන් 86% ක දායකත්වය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් සපුරා තිබේ.

    මේ අතර ඊයේ දින රුපියල් බිලියන 3.21 ක විදේශීය විකිණුම් වාර්තා වන අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 67.15 ක් ලෙසින් සටහන් වේ.

    ඒ අනුව රුපියල් බිලියන 3.15 ක දැවැන්ත ශුද්ධ විදේශීය ගලා යාමක් ඊයේ දිනයේ දී වාර්තා වී තිබේ.