සියැට් විධායකයින් දෙදෙනෙකුට NASCO සම්මාන

    October, 23, 2016

    විකුණුම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය අගයමින් මෙරට වෘත්තිකයින් දිරිගැන්වීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM විසින් සංවිධානය කළ 2016 NASCO ''National Sales Congress'' සම්මාන ප‍්‍රදානයේදී ඉතාමත් වැදගත් අංශ දෙකක් යටතේ රන් සහ රිදී සම්මාන දිනා ගැනීමට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ විධායක නිළධාරීන් දෙදෙනෙකු සමත්විය.

    රථ වාහන අංශයේ විකුණුම් විධායකයින්ට සහ සුපරීක්ෂකවරුන්ට හිමිවන රන් සම්මානය දිනා ගැනීමට සියැට්-කැළණි සමාගමේ ජ්‍යෙෂ්ඨ විකුණුම් විධායක ධම්මික බන්නක මහතා සමත්වූ අතර එම අංශයේ කළාපීය කළමණාකරුවන්ගේ අංශයට හිමිවන රිදී පදක්කම දිනා ගැනීමට සමාගමේ ප‍්‍රාදේශීය විකුණුම් කළමනාකරු, ප‍්‍රභාත් අමරතුංග මහතා සමත්විය.

    ‘‘වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් සියැට් සමාගම දැඩි අවධානයක් යොමු කරනවා. එයට හේතුව වන්නේ වෙළඳපොළ තුළ අපි ලබන වර්ධනය සඳහා අපගේ කාර්ය මණ්ඩලය ප‍්‍රධාන සාධකයක් වන නිසයිල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට්-කැළණි හෝල්ඩින්ග් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, විජේ ගාම්භීරේ මහතා සඳහන් කළේය. ‘‘මේ නිසා, අපගේ කණ්ඩායමේ සාමාජිකයින් ලැබූ මෙම ජයග‍්‍රහණය පිළිබඳව අපි ආඩම්බර වෙනවා.’’

    විකුණුම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය අගයමින් මෙරට වෘත්තිකයින් දිරිගැන්වීම වෙනුවෙන් පවත්වන ප‍්‍රමුඛතම සම්මාන ප‍්‍රදානයක් ලෙස සැලකෙන මෙහිදී විකුණුම් විශිෂ්ටත්වය හඳුනා ගනිමින් විවිධවූ අංශවල විකුණුම් වෘත්තිකයින්ව ඇගයීමට ලක්කරමින් ඔවුන්ට ඉහළම ජයග‍්‍රහණ ලබාගැනීම සඳහා දිරියක් ලබාදෙයි. ශීඝ‍්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG), මූල්‍ය උපකරණ සහ සේවා, රක්ෂණය, ආයතනික අලෙවිය, විදුලි සංදේශ, ප‍්‍රවාහන සහ සංචාරක, විලාසිතා සහ රෙදිිපිළි, කල් පවත්නා පාරිභෝගික භාණ්ඩ, මධ්‍යසාර දුම්කොළ, කර්මාන්ත, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණය, මාධ්‍ය සහ නවීන සිල්ලර වෙළඳාම වැනි අංශ නියෝජනය කරන හොඳම ‘ෆ‍්‍රන්ට් ලයිනර්’, ‘සේල්ස් එක්සෙකටිව්’ සහ ‘ටෙරිටරි මැනේජර්’ යන අංශ සඳහා NASCO විසින් රන්, රිදී හා ලෝකඩ සම්මාන පිරිනමයි. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයට රථ වාහන අංශය ඇතුළත් කළේ මේ වසරේ සිටයි.

    මෙහිදී, රන් සම්මානය දිනාගත් සියැට් සමාගමේ ධම්මික බන්නක මහතා වසර 13 ක් සමාගමේ සේවය කර තිබෙන අතර කුරුණෑගල සහ බදුල්ල යන දිස්ත‍්‍රික්ක දෙකේ විකුණුම් කටයුතු පිළිබඳ වගකීම දරා ඇත. ප‍්‍රභාත් අමරතුංග මහතා සමාගමේ වසර 15 ක් සේවය කර තිබෙන අතර ගාල්ල, කුරුණෑගල, මාතර, බදුල්ල, මහනුවර සහ ගම්පහ යන දිස්ත‍්‍රික්ක හය තුළ ප‍්‍රාදේශීය අලෙවි කළමනාකරු ලෙස වගකීම් දරා ඇත.

    සියැට් විසින් මෙරට ටයර් අවශ්‍යතාවයෙන් අඩක් පමණ සපයන අතර නිෂ්පාදනය කරන ටයර් වලින් තුනෙන් එකක් පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවලට අපනයනය කරයි. සියැට් ශ‍්‍රී ලංකා සමාගම රේඩියල්, වාණිජ යතුරු පැදි, ත‍්‍රී රෝද රථ සහ කෘෂි කාර්මික යන්ත‍්‍ර අංශ වෙනුවෙන් ටයර් නිෂ්පාදනය කරයි. සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 30% ක කොටසක්ද, ට‍්‍රක් රථ/සැහැල්ලූ ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 54% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 17% ක කොටසක්ද, කෘෂි කාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

    ප‍්‍රභාත් අමරතුංග මහතා (වමේ) සහ ධම්මික බන්නක මහතා 2016 NASCO සම්මාන ප‍්‍රදානෝත්සවයේදී තමන් දිනූ රිදී සහ රන් සම්මාන සමග