සිලෝන් එනර්ජි සමාගම ඇපලෝ ව්‍යාපෘතිය සඳහා විදුලි බල මණ්ඩලය සමග ගිවිසුමකට

    April, 4, 2024

    පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ඉලක්ක සපුරා ගැනීමේ අරමුණෙන් සිලෝන් එනර්ජි පෞද්ගලික සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ඇපලෝ ව්‍යාපෘතිය සඳහා විදුලිය මිල දී ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කළ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඊට අනුග්‍රහය දැක්වීය. මෙම ගිවිසුම හරහා මෙගාවොට් 10ක ජනන ධාරිතාවක් සහිත පොළොව මත සවි කරන සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීමට සැළසුම් කර තිබේ. තිරසාර බලශක්ති ක්ෂේත්‍රයක් බිහි කිරීමේ දැක්ම සහිත සිලෝන් එනර්ජි සමාගමේ සභාපති මදුශංක ප්‍රනාන්දු මහතා, සමාගමේ සාමාන්‍යධිකාරී ග්‍රේෂන් මුතුකුඩආරච්චි මහතා සහ මෙම ව්‍යාපෘතියේ සම සහකරුවෙකු ලෙස කටයුතු කරන Quigdao Hujintong Power Equipment Co. Ltd, (HJT) China නියෝජිතයෙකු වන Cai Weifeng මහතා මෙම අවස්ථාවට සහභාගී වූහ.

    මෙය සුවිශේෂ ආයෝජනයක් මෙන්ම තිරසාර අනාගතයක් සඳහා ශ්‍රී ලංකාව සතු දැක්ම පිළිබිඹු කරන අවස්ථාවකි. ඇමෙරිකානු ඩොලර් මිලියන අටක මෙම ආයෝජනය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ශ්‍රී ලංකාව සතු කැපවීම සහ 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට ඇති අපේක්ෂාව තහවුරු කරයි. ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සළකා බැලීමේදී මෙවැනි ව්‍යාපෘති දියත් කිරීම ඉතා වැදගත් වේ. හිරු එළිය ඇතුළු ස්වාභාවික සම්පත්වලින් පිරි රටක් වන ශ්‍රී ලංකාවට පහසුවෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කළ හැකිය. මෙවැනි ව්‍යාපෘති දියත් කිරීම තුළින් ගෝලීය තිරසාර ඉලක්ක සපුරා ගැනීමට මෙන්ම රට තුළ බලශක්ති සුරක්ෂිතතාව සහ ආර්ථික වර්ධනය ඇති කිරීමටද හැකියාව ලැබේ. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සිලෝන් එනර්ජි සමාගම සතු කැපවීම ජාතික සංවර්ධනය ළඟා කර ගැනීම පිළිබඳ සුබවාදී අපේකෂාවක් ඇති කරයි. ඇපලෝ වැනි ව්‍යාපෘති සඳහා ආයෝජනය කරමින් සිලෝන් එනර්ජි සමාගම පරිසර හිතකාමී ලෙස අවම ගාස්තුවක් යටතේ ජනතාවට විදුලි බලය සැපයීමට අවස්ථාව උදා කරයි.