සුමති සමූහ ව්‍යාපාරය සිය අභිමානවත් උරුමය සමග නවීන තාක්ෂණ  හැකියාවන් කරා පියනඟයි

    September, 23, 2021

    පුළුල් විවිධත්වයකින් හෙබි දැවැන්ත දේශීය ව්‍යාපාර සමූහයක් වන සුමති   සමූහය, ආරම්භ වූයේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලද 1948 වසරේදී ය. යූ. ඩබ්ලිව්. සුමතිපාල සහ පුත්‍රයෝ නමින් ඇරඹි එම ගමන් මග එකල තරුණ ව්‍යවසායකයෙකු වූ  යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතාගේ තවත් එක් ධෛර්යවන්ත ව්‍යාපාර ඇරඹුමකි. යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතා මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය තුල දැවැන්ත වෙනසක් සිදුකළ හා බලපෑම් සහගත දායකත්වයක් ලබාදුන් විශිෂ්ට ව්‍යාපාරිකයෙකි.

    1979 වර්ෂයේදී ජගත් සුමතිපාල මහතා හා මිලිනා සුමතිපාල මහත්මිය ව්‍යාපාරය සමග සම්බන්ධ වූ අතර, ව්‍යාපාරයෙහි සෑම අංශයක්ම සුමති සමූහ ව්‍යාපාරය නමින් එක් ව්‍යාපාර සමූහයක් බවට පත්කරන ලදී. අද වන විට සුමති ව්‍යාපාර සමූහය යනු ඉතා සාර්ථක ගමනක් පැමිණ තිබෙන ව්‍යාපාරයක් බව කවුරුත් දන්නා කරුණකි. ආර්ථික ක්‍රියාවලියෙහි වැදගත් කාර්යභාරයක් ඉටුකරන ක්ෂේත්‍ර රැසක ක්‍රමෝපායික ආයෝජන රැසක් සිදුකිරීමට ද සුමති ව්‍යාපාර සමූහය විසින් සිදුකර ඇත. සමූහයේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නායකත්වය සුමති හෝල්ඩිංග්ස් සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ - ජගත් සුමතිපාල මහතා විසින් ලබා දෙන අතර, සුමති සමූහයේ අනුබද්ධ සමාගම් අධ්‍යක්ෂිකා සමන්තා සුමතිපාල මහත්මිය හා ඔවුන්ගේ පුතුන් වන චදූ සුමතිපාල හා චතුල සුමතිපාල පිළිවෙලින් සුමති සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ හා ක්‍රමෝපාය හා ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ යන වගකීම් දරමින් සමූහයේ ඉදිරි ගමනට සහයෝගය ලබා දෙති.

    සුමති  සන්නාමය මේ වන විට දැවැන්ත වෙළෙඳපොල කොටසකට හිමිකම් කියන අතර, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාම කිහිපයක් සමග ව්‍යාපාරික සහයෝගීතාවයන්ට ද එළඹ සිටියි. සුමති හෝල්ඩිංග්ස් සමූහය සිය අනුබද්ධ ව්‍යාපාර ඔස්සේ තවත් ක්ෂේත්‍ර ගණනාවක් වෙත පිවිස ඇති අතර, තොරතුරු තාක්ෂණ (IT), විනෝදාස්වාද හා සත්කාරක, සෞඛ්‍ය සේවා, පුනර්ජනනීය බලශක්ති හා ආයතනික සේවා ඉන් ප්‍රධාන තැනක් ගනියි. සමූහයේ අනුබද්ධිත සෑම සමාගමක්ම දක්ෂ කළමනාකාරීත්වයක් යටතේ මෙහෙයවෙන  අතර, වඩාත් ස්වාධීනව ස්වකීය ආයතනික ආකෘතීන් ඔස්සේ ඒවායේ මෙහෙයුම් පවත්වාගෙන යාමට අවස්ථාව නිර්මාණය කරතිබේ.

    සුමති සමූහ ව්‍යාපාරයේ 73 වසරක සාඩම්බර ගමන්මඟ පිළිබඳ සිය අදහස් ගෙන හැර දක්වමින් සුමති සමූහ ව්‍යාපාරයේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ - ජගත් සුමතිපාල මහතා පැවසුවේ, ව්‍යාපාරකරණයේදී මුල අමතක නොකරමින් ඉදිරියට පැමිණීම තුළ දැවැන්ත සාර්ථකත්වයත් අත්කරගැනීමට හැකිවූ බව ය. “අපගේ ආචාර ධර්මික පැවැත්මත්, අනාගතවාදී චින්තනයත් නිසා ව්‍යාපාරකරණයේ නව මානයන් සොයා යමින් විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් ගොඩනැගීමට හැකිවුණා. වසරක් පාසා අපගේ ව්‍යාපාර මෙහෙයුම් ඉහළට ඔසවා තබමින්, දැවැන්ත වර්ධනයක්, මූල්‍ය කාර්යක්ෂමතාවක් හා මෙහෙයුම් විශිෂ්ටත්වයක් කරා ගමන් කිරීමට සුමති සමූහ ව්‍යාපාරයට හැකිවී තිබෙනවා” යනුවෙන් සුමතිපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    සමූහයෙහි සෑම අනුබද්ධ ව්‍යාපාරයක්ම උපරිම වෘත්තීයභාවයකින් කළමනාකරණය කෙරෙන අතර, තම සමාජීය වගකීම මැනවින් තේරුම් ගනිමින් එම සියලු සමාගම් තමන් නිරත වෙළෙඳපොල ක්ෂේත්‍රයට උපරිම වටිනාකමක් හිමිකරදීමට කැපවී සිටියි. පවුල් පසුබිම ඔස්සේ හිමිවන වටිනාකම් මෙන්ම විශිෂ්ට ව්‍යවසායකත්ව අත්දැකීම් හා සම්ප්‍රදායන් තුලින් ලද පන්නරයෙන් වර්ධනීය ගමන් මගක නිරත වන මෙම සෑම සමාගමක්ම සිය ක්ෂේත්‍රය තුල ඉදිරිගාමීව රැඳෙමින්, ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන හා සේවාවන් ගනුදෙනුකරුවා වෙත ලබා දීම සම්බන්ධයෙන් සුවිශේෂී කීර්තියක් උසුළයි.