සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම බිලියනයකින් වැඩිවෙලා

    December, 4, 2023

    මත් පැන් බෝතල්වල අලවන ව්යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමට ගැනීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් වැඩිවී ඇති බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට අනාවරණය කරන ලදි.
    මෙම තොරතුරු අනාවරණය වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
    මෙහිදී ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්රී ලංකා රේගුව මෙම කාරක සභාවට කැඳවා තිබුණි.
    මේ අනුව සුරාබදු පනත සංශෝධනය සම්බන්ධයෙන්ද මෙහිදී කමිටුව විමසන ලදි. එසේම සුරාබදු දෙපාර්තමේන්තුව මේ වන විට වැඩි කරගෙන ඇති ආදායම පවත්වාගෙන යාමේ අවශ්යතාව සහ අහඹු ලෙස වැටලීම් ඉදිරියටද කරගෙන යාම, ව්යාජ ස්ටිකර් මත් පැන් බෝතල්වල ඇළවීම තවදුරටත් අවම කිරීමට හේතු වන බවද මෙහිදී කමිටුව පෙන්වා දුන්නේය.