සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ වර්ධනය සහ වෙළඳපල ප්‍රවේශය ශක්තිමත් කිරීම සඳහා DFCC බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය අත්වැල් බැඳගනී

    May, 6, 2026

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ (SME) ව්‍යාපාරික වර්ධනයට සහාය වීම සහ ඔවුන්ට නව වෙළඳපල ප්‍රවේශයන් පුළුල් කර දීම සඳහා වන සිය පුළුල් දැක්මෙහි තවත් එක් පියවරක් ලෙස, DFCC බැංකුව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹීමට කටයුතු කර ඇත.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහය ලබා දීමේදී මෙතෙක් අනුගමනය කළ පැරණි ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගිය නවතම ප්‍රවේශයක් මෙම හවුල්කාරිත්වය මගින් පෙන්නුම් කරයි.ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීම තවමත් අත්‍යවශ්‍ය කරුණක් වුවද, එය පමණක් සාර්ථකත්වය උදෙසා ප්‍රමාණවත් නොවේ. වර්තමාන ව්‍යාපාරවලට නිසි මගපෙන්වීම, වෙළඳපල සම්බන්ධතාවන් සහ වෙනස් වන ආර්ථික තත්ත්වයන් හමුවේ වැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමේ හැකියාව ද අත්‍යවශ්‍ය වී තිබේ.

    මෙම හවුල්කාරිත්වය හරහා DFCC බැංකුව සහ ජාතික වාණිජ මණ්ඩලය එක්ව, ව්‍යවසායකයින්ට අවශ්‍ය සියලුම පහසුකම් විධිමත් වැඩපිළිවෙළක් යටතේ එකම තැනකින් ලබාදීමට කටයුතු කරයි. ඒ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අපනයනය ඉලක්ක කරගත් වැඩමුළු, මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් සහ ව්‍යාපාරික උපදේශන සේවාවන් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙමගින් ව්‍යවසායකයින්ගේ තීරණ ගැනීමේ හැකියාව ඔප්නැංවීමටත්, මෙහෙයුම් ධාරිතාව ශක්තිමත් කිරීමටත්, සිය ව්‍යාපාර සාර්ථකව වර්ධනය කරගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය ශක්තිය සහ මගපෙන්වීම ලබාදීමට ද මෙහිදී අපේක්ෂා කෙරේ.

    මෙම වැඩසටහනේ ප්‍රධානතම අංගයක් වන්නේ වෙළඳපල ප්‍රවේශයයි. "From Sri Lanka" (FSL) ඩිජිටල් වේදිකාව හරහා DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට තම නිෂ්පාදන සහ සේවාවන් පුළුල් පරාසයකට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර, එමගින් දේශීය මෙන්ම ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමඟ සෘජුව සම්බන්ධ වීමට මග පෑදේ.

    මූල්‍ය පහසුකම්, දැනුම සහ වෙළඳපල ප්‍රවේශය යන කරුණු එකිනෙකට බද්ධ වූ ශක්තිමත් ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා වූ DFCC බැංකුවේ ඉදිරි දැක්ම සාක්ෂාත් කර ගැනීමට මෙම වැඩපිළිවෙළ මගින් ලැබෙන්නේ මනා පිටුවහලකි. මෙම අත්‍යවශ්‍ය මූලාශ්‍රයන් වෙන් වෙන්ව ක්‍රියාත්මක වීම වෙනුවට ගනුදෙනුකරුවා වෙත සමීප කිරීම හරහා, ව්‍යවසායකයින්ට සිය ස්ථාවරත්වයේ සිට මහා පරිමාණ වර්ධනයක් කරා විශ්වාසදායී ලෙස පියනැගීමට අවස්ථාව සැලසෙයි.

    ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සමඟ අත්වැල් බැඳගැනීම මගින්, DFCC බැංකුව හුදෙක් මූල්‍ය ආයතනයක් ලෙස පමණක් නොව, ව්‍යාපාරික වර්ධනය සඳහා මගපෙන්වන පහසුකම් සපයන්නෙකු ලෙස සිය භූමිකාව තවදුරටත් ශක්තිමත් කරයි. අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයක් තුළ පවතින අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙළා ගැනීමට මෙරට ව්‍යවසායකයින්ට ශක්තියක් ලබා දීම බැංකුවේ නිරන්තර අරමුණයි.

     

    ඡායාරූපයේ වමේ සිට දකුණට: තිළිණි දිල්ෂානි මෙනෙවිය – විධායක නිලධාරි (අවස්ථා කළමනාකරණ), ජාතික වාණිජ මණ්ඩලය, නිලුපුල් චන්ද්‍රසේන මහත්මිය – මහලේකම්/ප්‍රධාන විධායක නිලධාරිනී, ජාතික වාණිජ මණ්ඩලය, චාමික ගොඩමාන්න මහතා – ගරු භාණ්ඩාගාරික, ජාතික වාණිජ මණ්ඩලය, අනුර වර්ණකුලසූරිය මහතා – සභාපති, ජාතික වාණිජ මණ්ඩලය, තිමල් පෙරේරා මහතා – අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, DFCC බැංකුව, ශමින්ද්‍ර මර්සලින් මහතා – නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී, DFCC බැංකුව, ප්‍රදීප් ද අල්විස් මහතා – උප සභාපති (ව්‍යාපාරික බැංකු අංශ ප්‍රධානී), DFCC බැංකුව, ජූඩ් මුත්තයියා මහතා – සහකාර උප සභාපති (ව්‍යාපාරික බැංකු අංශය), DFCC බැංකුව සහ කෞෂාල් වියන් මහතා – සහකාර සබඳතා කළමනාකරු (ව්‍යාපාරික බැංකු අංශය), DFCC බැංකුව.