සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අගයන්නට SLIM “SME Development Awards” සම්මාන උළෙල හඳුන්වාදෙයි

    April, 1, 2021

    COVID 19 අභියෝගයෙන් පසු යළි නැගී සිටින්නට වෙරදරන, ශ්‍රී ලාංකීය ආර්ථිකයේ ජීව නාලිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් “SLIM SME Development Awards” හඳුන්වා දී ඇත. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අලෙවිකරණ දැනුමෙන් හා කුසලතාවයන්ගෙන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් දියත් කර ඇති SLIM විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ‘Restart Sri Lanka’ වැඩසටහන යටතේ මෙම සම්මාන උළෙල පැවැත්වේ.

    SLIM සභාපති රොෂාන් ප‍්‍රනාන්දු මහතා, උප සභාපති තිලංකා අබේවර්ධන මහත්මිය, ව්‍යාපෘති සභාපති අසංක පෙරේරා මහතා, සම්මාන උළළේ ජූරිය වෙනුවෙන් එහි ප‍්‍රධානී නන්දන වික‍්‍රමගේ මහතා සහ කළමනාකරණ උපදේශක රවී බමුණුසිංහ මහතා යන අයගේ ප‍්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 25 වැනි දින කොළඹ සිනමන් ලේක් සයිඞ් හෝටලයේ Earl’s Court ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී “SLIM SME Development Awards” පිළිබඳ නිවේදනය කරන ලදී.

    SLIM සභාපති රොෂාන් ප‍්‍රනාන්දු මහතා සම්මාන උළෙල පිළිබඳ අදහස් දක්වමින් "අපේ රටේ ආර්ථික සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් සිදුවන දායකත්වය මෙතෙකැයි කියා කියන්නට බැහැ. වාර්තා අනුව අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 52% ක ප‍්‍රතිශතයක් ශක්තිමත් කරන්නේ ඔවුන්. පසුගිය කාලයේ අප සියළු දෙනාට මුහුණපාන්නට සිදුවූ ගෝලීය වසංගත අභියෝගයේදී පසුගාමී වූ ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු වරට සම්මාන උලෙලක් හඳුන්වා දෙන්නට SLIM අප තීරණය කලා. " පැවසීය.