සෙලාන් බැංකුවෙන් නැගෙනහිර කොළඹ මූලික රෝහලට දැඩි සත්කාර ඒකකයක්

    June, 8, 2021

    COVID-19 පැරදවීමේ ජාතික සටන තවදුරටත් ශක්තිමත් කිරීමක්

    සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව පසුගියදා මුල්ලේරියාවේ නැගෙනහිර කොළඹ මූලික රෝහලට සියලු පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. COVID-19 රෝග ව්‍යාප්තියට එරෙහි ජාතික සටන ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් මෙය සිදුකර තිබේ. විශේෂ ආසාදන පාලන තාක්ෂණ පද්ධතියකින්ද සමන්විත නව දැඩි සත්කාර ඒකකය, මෙරටින් හඳුනාගනු ලබන COVID-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කෙරෙනු ඇත.

    මෙම දැඩි සත්කාර ඒකකය නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත භාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, COVID-19 පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, සහ සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රමේෂ් ජයසේකර මහතා ප්‍රමුඛව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සහ සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් සහභාගී වූහ. සෞඛ්‍ය විධිවිධාන දැඩි ලෙස අනුගමනය කරමින් මෙම උත්සවය පැවැත්විණි.

    COVID-19 රෝගය මෙරට තුළ පැතිරී යාම ආරම්භ වූයේ 2020 වසරේ මාර්තු මාසයේදී ය. එම අවස්ථාවේදී COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නැගෙනහිර කොළඹ මූලික රෝහල භාවිතා කිරීමට රජය විසින් තීරණය කරන ලදි. රෝහල තුළ පූර්ණ පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයක් පිහිටුවීමේ අවශ්‍යතාව වටහාගත් සෙලාන් බැංකුව, එම මෙහෙවර සඳහා ඉදිරිපත් වූ අතර, පසුගිය වසරේදී ඊට මුල්ගල තැබීමෙන් අනතුරුව කෙටි කාලයක් තුළ තම ප්‍රතිඥාව ඉටුකරමින්, අදාළ සියලු පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකය නැගෙනහිර කොළඹ මූලික රෝහල තුළ ස්ථාපිත කිරීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි.

    "COVID-19 වසංගතය මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන වඩාත්ම බරපතළ ගැටලුව පමණක් නොව, මුළු ලෝකයේ අංක එකේ පොදු සතුරා බවට පත්වී තිබෙනවා. සෙලාන් බැංකුව සහ එහි කාර්ය මණ්ඩලය විසින්, මෙම වසංගතය ආරම්භයේදීම, කොළඹ නැගෙනහිර මූලික රෝහල තුළ විශේෂ ආසාදන පාලන තාක්‍ෂණ පද්ධතියක් සහිත දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීමට තීරණය කළේ ජාතික සෞඛ්‍ය සේවාවන්ට සහය දැක්වීමක් වශයෙනුයි. මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා අපගේම කාර්ය මණ්ඩලය සෘජුවම සම්බන්ධ වීම පිළිබඳව මා බෙහෙවින් කෘතඥපූර්වක හා ආඩම්බර වන අතර, මෙම වසංගතයට එරෙහි සටනේදී ඔවුන්ගේ අනෙකුත් සියලු කටයුතු අතරතුර පවා මෙම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය ලබා දීමට ඉදිරිපත්වීම සහ එය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ශ්‍රමය සැපයීම පිළිබඳව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ශ්‍රී ලංකා යුද හමුදාවට මාගේ විශේෂ ස්තූතිය පිරිනමනවා. මේ සඳහා සම්බන්ධ වූ අපගේ පරිශ්‍ර හා නඩත්තු දෙපාර්තමේන්තුවට මෙන්ම ව්‍යාපෘතිය පුරාම අපට සහයෝගය ලබාදුන් කොළඹ නැගෙනහිර මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණරත්න, වෛද්‍ය කසුන් විතාන සහ සැලසුම් ඒකකයේ සාමාජිකයින්, වෛද්‍ය මනෝරි සමරනායක, වෛද්‍ය නිලුෂි ද සිල්වා සහ වෛද්‍ය ප්‍රියන්ති අලගියවන්න ඇතුළු පිරිසට අපගේ විශේෂ ස්තූතිය හිමිවිය යුතුයි. එකම දැයක් ලෙස එකට එකතු වී හැකි ඉක්මනින් මෙම අනතුරෙන් මිදීමට රටට උපකාර කිරීම සඳහා අවශ්‍ය දේ කිරීම සෙලාන් බැංකුවේ අප සියලු දෙනාගේ දැඩි අපේක්ෂාව වී තිබෙනවා. ” සෙලාන් බැංකුවේ අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා පැවසී ය.

    මෙම අතිනවීන පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකය, ඇඳන් 5 කින් මෙන්ම, ප්‍රතිශක්ති දුර්වලතා සහිත පුද්ගලයන් හුදෙකලා කොට තැබීමේ පහසුකම් වලින්ද සමන්විත වේ. ඒකකය පුරා ස්ථාන 6 ක ඔක්සිජන් සහ වෙනත් වායු වර්ග සැපයුම් ස්ථාන ස්ථාපිත කර ඇති අතර, සේවා කටයුතු සඳහා සහ හෙද කාර්ය මණ්ඩලය සඳහාද වෙනම ස්ථාන වෙන්කර ඇත. එමෙන්ම සේදුම් පහසුකම් සහිත වෙනම ඇතුළු වීමේ ස්ථානයක්ද ඉදිකර ඇති අතර, එය ආබාධ සහිත පුද්ගලයන්ටද පහසුවෙන් ඇතුළු විය හැකි පරිදි සැලසුම් කර තිබේ. වෛරසයට නිරාවරණය වීමේ ඉඩකඩ හැකිතාක් අවම කරමින්, COVID-19 රෝගීන්ට ප්‍රතිකාර ලබාදිය හැකිවන ආකාරයට විවෘත අවකාශයක් සහිතව මෙම දැඩි සත්කාර ඒකකය ඉදිකර ඇත. COVID-19 තුන්වන රැල්ල රටට දැඩි බලපෑමක් එල්ල කර ඇති මේ අවස්ථාවේදී, එම අවදානම පාලනය කිරීම සඳහා මෙරට සෞඛ්‍ය අංශ ඇතුළු සියලුම පාර්ශවයන් දරමින් සිටින උත්සාහයට කැපීපෙනෙන දායකත්වයක් දැක්වීමට මෙම දැඩි සත්කාර ඒකකය සමත් වනු නොඅනුමාන ය.

    සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු 172 ක ශාඛා සහ 216 ක ATM ජාලයකට මෙන්ම මුදල් තැන්පතු CDM යන්ත්‍ර 70ක් සහ චෙක් තැන්පතු Kiosks (CDK) යන්ත්‍ර 76 කට ද හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම A-(lka) සිට A (lka) දක්වා ඉහළ දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. Transparency Global ආයතනය විසින් ආයතනික වාර්තාකරණයේ වඩාත් විනිවිදභාවයක් හිමි ආයතන අතර සෙලාන් බැංකුව දෙවන ස්ථානයේ ලැයිස්තුගත කර ඇත. LMD මඟින්, අඛණ්ඩව 2019 සහ 2020 වසර වලදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා සැපයුම්කරු ලෙස සෙලාන් බැංකුව නම් කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.