November, 8, 2021
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව 2020 Sri Lanka Islamic Banking and Finance Industry (SLIBFI) Awards සම්මාන උළෙලේදී ‘වසරේ නැගී එන ආයතනය’ (Emerging Entity of the Year) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. SLIBFI සම්මාන මෙරට ඉස්ලාමීය බැංකු හා මුල්‍ය සේවා ක්ෂේත්රය සම්බන්ධ ප්‍රමුඛතම සම්මාන වැඩසටහන ලෙස සැලකේ.
විශේෂ ගනුදෙනුකරුවන් කාණ්ඩ වල ඉල්ලීම් සපුරාලීම සම්බන්ධ ක්‍රමෝපායික දැක්ම යටතේ, මෙරට ඉස්ලාමීය බැංකුකරණ සේවාවන් අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් 2018 වසරේදී සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය ආරම්භ කරන ලදි. මේ වනවිට එම ඒකකයේ ආදායම්, වත්කම් හා ණය සේවා පදනම කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගෙන ඇත. 2020 වසරේදී එම ඒකකයේ ආදායම 100% කින් ඉහළ ගිය අතර, වත්කම් සහ ණය සේවාවන්ද එවැනිම වර්ධනයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ.
“ඉස්ලාමීය බැංකුකරණය යනු සාම්ප්‍රදායික බැංකුකරණයට සමගාමීව ලොව පුරා ක්‍රියාත්මක වන විකල්ප බැංකුකරණ ක්‍රමවේදයක්. ශ්‍රී ලංකාවේද ඉස්ලාමීය බැංකුකරණ සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මේ වනවිට ඉහළ යමින් පවතිනවා. මෙය හුදෙක් විශේෂ ආගමකට හෝ ජාතියකට සීමා වූ ක්‍රමවේදයක් නොවෙයි. විකල්ප ක්‍රමවේදයකට කැමති ඕනෑම කෙනෙකුට එය භාවිතා කිරීමට පුළුවන්. දශක ගණනාවක් තිස්සේ ගනුදෙනුකරුවන්ගේ ආදරය දිනූ බැංකුවක කොටසක් වශයෙන් මේ ආකාරයට SLIBFI සම්මාන උළෙලේදී ‘වසරේ නැගී එන ආයතනය’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවීම, මෙරට බැංකු ක්ෂේත්රය තුළ ක්‍රමානුකූලව ඉස්ලාමීය බැංකු සේවාවන් ක්‍රියාවට නැංවීමට අප ගත් උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි.” සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකයේ ප්‍රධානී එම්. ඉසෙඩ්. සමීර් මොහොමඩ් මහතා පැවසී ය.
COVID-19 හේතුවෙන් අභියෝග රාශියකට මුහුණදීමට සිදු වූ පසුබිමක් තුළ පවා පැහැදිලි වර්ධනයක් අත්පත් කරගැනීමට සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය සමත් වී තිබේ. මේ වනවිට එම ඒකකය පුළුල් පරාසයක පැතිරුණු ඉස්ලාමීය බැංකුකරණ සේවාවන් තම ගනුදෙනුකරුවන් වෙත පිරිනමයි. Diminishing Musharakah, Wakalah Financing, සහ Murabaha වැනි මුල්‍ය සම්පාදන සේවාවන් මෙන්ම Mudarabah සහ Wakalah තැන්පතු මූලධර්ම යටතේ පිරිනමන තැන්පතු සේවාවන්ද සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය වෙතින් ලබාගත හැකි වේ.
“මෙවැනි සම්මාන වැඩසටහන් වඩාත් හොඳ ක්රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට සමාගම් හා ආයතන දිරිගන්වන අතරම, ක්ෂේත්රය තුළ යහපත් තරගකාරීත්වයක් ඇතිවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දෙනවා. එය ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ සේවාවක් හිමිවීමට පැහැදිලිවම බලපාන සාධකයක්.” සමීර් මොහොමඩ් මහතා වැඩිදුරටත් පැවසී ය.
සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය මෙරට ඉස්ලාමීය බැංකු සේවා සම්පාදක ආයතන හා ඒකක අතර කෙටිම ඉතිහාසයක් සහිත ඒකකය ලෙස සැලකේ. විශිෂ්ට කාර්ය මණ්ඩලයක් සමගින් එය මේ වනවිට ආයතනික හා සාමාන්‍ය ගනුදෙනුකරුවන් විශාල පිරිසක් වෙත තම සේවාවන් පිරිනමමින් සිටී. ආයතනික බැංකුකරණය යටතේ පුනර්ජනනීය බලශක්තිය, දේපළ, ඉදිකිරීම්, කෘෂිකර්මය සහ පාරිභෝගික වෙළඳාම් වැනි ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන අතර, පුද්ගලික ගනුදෙනුකරුවන් සඳහා නිශ්චල දේපළ මෙන්ම රථවාහන ඇතුළු චංචල දේපළ සඳහා ලබාදෙන මුල්‍ය පහසුකම් ඇතුළු සේවාවන් රාශියක් පිරිනැමේ.
SLIBFI සම්මාන උළෙලේ නාමයෝජනා නිර්පාක්ෂික ලෙස ඇගයීමට ලක්කිරීම සඳහා දායකත්වය ලබාදෙන්නේ KPMG ආයතනයයි. එම ආයතනයේ මගපෙන්වීම යටතේ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින්, විනිවිදභාවය පවත්වා ගනිමින් සම්මානලාභීන් තෝරාගැනීම සිදුකරනු ලබයි.
සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු 172 ක ශාඛා සහ 216 ක ATM ජාලයකට මෙන්ම මුදල් තැන්පතු CDM යන්ත්‍ර 70ක් සහ චෙක් තැන්පතු Kiosks (CDK) යන්ත්‍ර 86 කට ද හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම A-(lka) සිට A (lka) දක්වා ඉහළ දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. Transparency Global ආයතනය විසින් ආයතනික වාර්තාකරණයේ වඩාත් විනිවිදභාවයක් හිමි ආයතන අතර සෙලාන් බැංකුව දෙවන ස්ථානයේ ලැයිස්තුගත කර ඇති අතර දැන් එම බැංකුව S&P Dow Jones SL 20 දර්ශකයටද ඇතුළත් වී සිටී. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.
ඡායාරූපය: සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකයේ ප්‍රධානී එම්. ඉසෙඩ්. සමීර් මොහොමඩ් මහතා