August, 7, 2026
සෙලාන් බැංකුව පසුගියදා ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි වාහන සහ අමතර කොටස් ප්‍රදර්ශනය වන Colombo EV Motor Show සමඟ අත්වැල් බැඳගනිමින් එහි නිල බැංකු සහ ලීසිං සහකරු ලෙස කටයුතු කළේය. පසුගිය ජූනි 26, 27 සහ 28 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයට නරඹන්නන් 17,000 කට අධික පිරිසක් ඇදී ආහ. විදුලි රථවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ සන්නාම සහ පුද්ගලයන් මෙන්ම විදුලි රථවාහන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශාල පිරිසක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වූහ.
ප්‍රදර්ශනයේ නිල බැංකු සහ ලීසිං සහකරු වශයෙන් සෙලාන් බැංකුව මෙහිදී තම සේවාවන් එකතුව නරඹන්නන් වෙත හඳුන්වා දීමට කටයුතු කළේය. සෙලාන් බැංකුව විදුලි රථවාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙම ලීසිං සඳහා ආකර්ෂණීය පොලී අනුපාත, සේවා ගාස්තු සඳහා වට්ටම්, කඩිනම් අනුමැතිය සහ කාර්යක්ෂම පහසු ගෙවීමේ ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රාශියක් හිමි වේ. පාරිභෝගිකයන්ට රථවාහන මිලදී ගැනීම පහසු කිරීමේ අරමුණින්, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට මෙම ලීසිං පැකේජ සැලසුම් කර ඇත.
මෙම ප්‍රදර්ශනයට විදුලි වාහන, අමතර කොටස්, උපාංග, ලිහිසි තෙල්, ටයර්, බැටරි සහ ආරෝපණ විසඳුම් ඇතුළු පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන හා සේවාවන්ට අදාළ වෙළඳ කුටි 200 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වූ අතර, එය වාහන හිමියන් සහ අනාගත වාහන ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීම සඳහා කදිම වේදිකාවක් විය. එහිදී සෙලාන් බැංකුව හඳුන්වා දී ඇති ‘Speed Drive’ ලීසිං පහසුකම සඳහාද විශේෂ ප්‍රචාරයක් ලබාදෙන ලදි. ‘Speed Drive’ යනු ගනුදෙනුකරුවන්ට ප්‍රාග්ධන මුදල ආපසු ගෙවීම ආරම්භ කිරීමට පෙර මුලින් පොලිය පමණක් ගෙවීමට අවස්ථාව සලසා දෙන නම්‍යශීලී ලීසිං පහසුකමකි. ඊට අමතරව සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩිජිටල් බැංකුකරණ විසඳුම් මෙන්ම නවීන ජීවන රටාවන්ට ගැළපෙන තවත් මූල්‍ය සේවාවන් රාශියක් මෙහිදී නරඹන්නන් වෙත හඳුන්වා දෙන ලදී.
“Colombo EV Motor Show 2026 සමඟ අත්වැල් බැඳගැනීම යනු ශ්‍රී ලංකාවට තිරසාර ප්‍රවාහන විසඳුම් වෙත යොමුවීම සඳහා උරදීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙහිදී අපට ලැබුණු උණුසුම් ප්‍රතිචාර තුළින් පෙනී ගියේ, නම්‍යශීලී සහ නව්‍ය මූල්‍ය විසඳුම් සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින බවයි. ප්‍රදර්ශනය තුළදී ගනුදෙනුකරුවන් දහස් ගණනක් සමඟ සම්බන්ධ වෙමින්, සෙලාන් බැංකුවේ ලීසිං සේවාවන් මඟින් විදුලි වාහන මිලදී ගැනීම වඩාත් පහසු වී ඇති ආකාරය පෙන්වා දීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසීය.
මෙබඳු හවුල්කාරීත්වයන් ඔස්සේ සෙලාන් බැංකුව ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන විසඳුම් හඳුන්වා දෙන අතරම විදුලි වාහන ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වෙමින්, රටේ විශ්වාසනීය මූල්‍ය සේවා හවුල්කරුවෙකු ලෙස තමන් දිනා සිටින කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගනිමින් සිටී.
Video Story