සෙලාන් බැංකුව LMD 100 ලැයිස්තුවේ ඉහළට

    May, 24, 2021

    සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවක් වන LMD 100 ලැයිස්තුවේ නවතම අදියරේ  20 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ. පසුගිය වසරේදී සෙලාන් බැංකුවට මෙම දර්ශකයේ 23 වන ස්ථානය හිමිවී තිබූ අතර, 2019/2020 කාලසීමාවේදී ප්‍රදර්ශනය කළ යහපත් ක්‍රියාකාරීත්වය නිසා මේ ආකාරයට ස්ථාන 3 ක් ඉදිරියට පැමිණෙමින්, මෙවර එම ලැයිස්තුවේ 20 වන ස්ථානය හිමිකර ගැනීමට සෙලාන් බැංකුවට හැකිවී ඇත. මෙය, මෙරට ශක්තිමත්ම ව්‍යාපාරික ආයතන අතරින් එකක් ලෙස සෙලාන් බැංකුවට හිමිවී ඇති ස්ථානය නැවත වරක් තහවුරු කරන ජයග්‍රහණයකි.

    ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් සිදුකරනු ලබන දැඩි විශ්ලේෂණයකින් අනතුරුව LMD 100 ලැයිස්තුව ප්‍රකාශයට පත්කරනු ලැබේ. සමාගම් වල වාර්ෂික වාර්තා වල අඩංගු තොරතුරු මෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ දෛනික වාර්තාද මේ සඳහා සැලකිල්ලට ගනු ලබයි. ලාභදායීත්වය, වත්කම්, කොටස් හිමිකරුවන්ගේ අරමුදල් සහ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ඇතුළු සාධක රැසක් අනුව, LMD 100 ලැයිස්තුවට එක්වන සමාගම් මොනවාද යන්න තීරණය කෙරේ.

    මේ සම්බන්ධයෙන් සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. "මේ දුෂ්කර ආර්ථික වටාපිටාව තුළ බැංකු ක්ෂේත්‍රයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. එමෙන්ම තාක්ෂණය වේගයෙන් දියුණු වද්දී අප නිරන්තරයෙන් නවෝත්පාදනය කෙරෙහි සිත යොමුකළ යුතුයි. මෙවැනි තත්ත්වයක් තුළ LMD 100 ලැයිස්තුවේ ඉහළට පැමිණීමට හැකිවීම යනු, දුෂ්කර කාලවලදී පවා සාර්ථක ලෙස ඉදිරියට යාමට අප සතු හැකියාවට මනා සාක්ෂියක්. COVID-19 රෝග ව්‍යාප්තියෙන් අනතුරුව නව ජීවන රටාවන් හමුවේ පෙරටත් වඩා ශක්තියෙන් යුතුව ඉදිරියට යන අතර, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් පෙරටත් වඩා වැඩි අවධානයක් යොමුකිරීමට අප බලාපොරොත්තු වෙනවා. අනාගතයේ එළඹීමට ඉඩ ඇති අවිනිශ්චිත කාලයන් වලදී පවා ගනුදෙනුකරුවන්ට සුරක්ෂිත ලෙස හා පහසුවෙන් ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දෙන සේවාවන් හඳුන්වා දීම අපගේ ප්‍රධානතම ඉලක්කයයි."

    COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ ව්‍යාපාරික ලෝකය මුහුණ දෙමින් සිටින අනපේක්ෂිත තත්ත්වයන් හමුවේ වුවද, ශක්තිමත් සමාගමක් ලෙස ඉදිරියෙන්ම සිටීමට සෙලාන් බැංකුව සමත් වී තිබේ. එමෙන්ම නව තාක්ෂණයන් භාවිතයට ගැනීමටත්, නව සේවාවන් හඳුන්වා දීමටත් බැංකුව නිරන්තරයෙන් කටයුතු කර ඇත. මේ නිසාම අලුතින් ප්‍රකාශයට පත්කළ LMD 100 ලැයිස්තුව තුළ, පෙරටත් වඩා ඉහළට පැමිණීමට සෙලාන් බැංකුව සමත් වී තිබේ.

    සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු 172 ක ශාඛා සහ 216ATM ජාලයකට මෙන්ම මුදල් තැන්පතු CDM යන්ත්‍ර 70ක් සහ චෙක් තැන්පතු Kiosks (CDK) යන්ත්‍ර 83කට ද හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම A-(lka) සිට A (lka) දක්වා ඉහළ දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. Transparency Global ආයතනය විසින් ආයතනික වාර්තාකරණයේ වඩාත් විනිවිදභාවයක් හිමි ආයතන අතර සෙලාන් බැංකුව දෙවන ස්ථානයේ ලැයිස්තුගත කර ඇත. LMD මඟින්, අඛණ්ඩව 2019 සහ 2020 වසර වලදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා සැපයුම්කරු ලෙස සෙලාන් බැංකුව නම් කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.seylan.lk