සෙලින්කෝ ලයිෆ් තම විකුණුම් විශිෂ්ටයින් අගයයි

    April, 29, 2026

    තම අලෙවි බලකායේ විශිෂ්ටතමයන් ඇගයීමට හා ඔවුන් තවදුරටත් දිරිමත් කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම දක්වන කැපවීම යළිත් තහවුරු කරමින්, ‘2026 High Flyers දිනය’ පසුගිය දා සමාගමේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ අලෙවි නිළධාරීන් 300 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සමරන ලදී.

    කොළඹ සුඛෝපභෝගී ITC රත්නදීප හෝටලයේදී පැවති මෙම උත්සවයේ දී, 2025 වසර තුළදී කාර්යසාධනය වෙනුවෙන් High Flyers තත්ත්වය දිනාගත් අලෙවි නිළධාරීන් මෙන්ම 'Sales Superstar' නාමය ලබාගත් අලෙවි නිළධාරීන් සහ ගෝලීය වශයෙන් ගෞරවයට පාත්‍ර වූ Million Dollar Round Table (MDRT)  සඳහා සුදුසුකම් ලැබූ අලෙවි නිළධාරීන් සියලු දෙනා උපහාර ලැබීය.

    ‘විශිෂ්ටත්වයෙන් ඔබ්බට‘ යන තේමාව මත කේන්ද්‍රගත වූ 2026 High Flyers  දිනය වැඩසටහන සැලසුම් කරනු ලැබුවේ සාර්ථකත්වය සැමරීම සඳහා පමණක් නොව, සමාගමේ ඉහළම දක්ෂතා දක්වන පිරිසට තවදුරටත් උසස් මට්ටමකට යාමට අභියෝග කිරීම සඳහාද වේ. එය ඉලක්ක ඉක්මවා යාම, ආදර්ශයෙන් නායකත්වය දැක්වීම සහ සමාගම පුරා නව සාර්ථකත්ව ප්‍රමිතීන් ස්ථාපිත කිරීම අරමුණු කරගනී.

    මෙම සැමරුම් අවස්ථාවට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සමඟ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී වූ අතර, ඔවුන් අවධාරණය කලේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ අඛණ්ඩ වෙළඳපල නායකත්වය පිටුපස ඇති බලවේගය වන අලෙවි බලකායට ලබා දෙන වැදගත් ස්ථානයයි. උත්සවයේ විධිමත් කටයුතුවලින් පසුව, ඉහළ කාර්යසාධනයක් සහිත පිරිස අතර මිත්‍රත්වය වර්ධනය කර ගනිමින් හා සබඳතා ශක්තිමත් කරගනිමින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සමඟ සාදයක් ද පැවැත්විණ.

    සෙලින්කෝ ලයිෆ් විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සමිත හේමචන්ද්‍ර මහතා මෙම උත්සවයේ දී අභිප්‍රේණය කරවනසුළු අර්ථවත් දේශන පැවැත්වූ අතර විශිෂ්ට අලෙවි නිළධාරීන් කිහිප දෙනෙකුහට තම දැනුම සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට ද අවස්ථාව හිමි විය.

    මෙම සන්ධ්‍යාව තවත් අර්ථවත් කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ද තම ආකර්ශණීය දේශනය හරහා අභියෝග ජය ගැනීම, පීඩනය යටතේ කාර්යසාධනය පවත්වා ගැනීම සහ ඉදිරිපෙළ සිට නායකත්වය ලබා දීම පිළිබඳ ඔහුගේ ජීවිත අත්දැකීම් බෙදා ගත්තේ ය. ඔහුගේ අදහස් තරඟකාරී ජීවිත රක්ෂණ ලෝකයේ සහ ක්‍රීඩාවේ විශිෂ්ටත්වය හා සාර්ථකත්වය අතර සමානකම් පෙන්වා දෙන ලදී.

    2025 දී අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සහ 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙසත් පිළිගැනීමට ලක් වූ සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් මෙරට සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය ලෙසද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී.

    පසුගිය වසර පහ තුළ සමාගම ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙස දෙවරක් තේරී පත් වූ අතර ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ වඩාත් ම අගය කරන ලද සමාගම් 10 අතරට ශ්‍රේණිගත කර ඇත.

     

    සේයාරු සටහන: සෙලින්කෝ ලයිෆ් විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සමිත හේමචන්ද්‍ර මහතා උත්සවය ඇමතීම සහ දේශන මඩුල්ලේ සාකච්ඡාවක්