සෙලින්කෝ ලයිෆ් රුපියල් මිලියන 22 ක් වටිනා නව ප‍්‍රණාම ශිෂ්‍යත්ව පිරිනමයි

    October, 2, 2023

    සෙලින්කෝ ලයිෆ් සමාගමේ 22 වැනි ප‍්‍රණාම ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයේදී හෙට දවසේ නායකයන් ලෙස හඳුනාගත් තරුණ ශ‍්‍රී ලාංකිකයින් 152 දෙනෙකුට රුපියල් මිලියන 22 ක් වටිනා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන ලද අතර, මව්රටේ අනාගතය ගොඩනැගීමට ඔවුන් දරණ වගකීම එම උත්සවයේදී අවධාරණය විය.

    උග‍්‍රවන අධ්‍යාපන වියදම් සහ ආර්ථික අර්බුදය තුළින් ජීවන වියදම කෙරෙහි ඇති කරන බලපෑම හඳුනා ගනිමින් සෙලින්කෝ ලයිෆ් විසින් ප‍්‍රණාම ශිෂ්‍යත්වවල වටිනාකම ස්වේච්ඡවෙන් දෙගුණ කිරීම මෙවර උත්සවයේ කැපී පෙනෙන අංගයක් විය.

    කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඞී.කරුණාරත්න මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දේශනය පවත්වමින් අනාගත අභියෝගවලට මුහුණදීම සඳහා අත්‍යවශ්‍ය කුසලතා ලෙස නිපුණතා සංවර්ධනය, භාෂා ප‍්‍රවීණතාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාවය සහ මූල්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළේය.

    මහාචාර්ය කරුණාරත්න මහතා දේශනයේ දී ඉංග‍්‍රීසි භාෂාව සහ මව් භාෂාවට අමතරව අවම වශයෙන් තවත් එක් ජාත්‍යන්තර භාෂාවක් පිළිබඳ ප‍්‍රවීණතාවයේ වටිනාකම, ස්මාර්ට් ජංගම දුරකතනයේ ”ස්මාර්ට් කොටසේ” ප‍්‍රවීණයන් වීමේ අවශ්‍යතාවය අවධාරණය විය. එලෙසම මුදල් ඉපැයීම, භාවිතා කිරීම, ඉතිරි කිරීම, ආයෝජනය කිරීම සහ වර්ධනය කිරීම පිළිබඳ සාක්ෂරතාවය, සහ පුද්ගලයන් වෙනුවට කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමට සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය ප‍්‍රගුණ කිරීම සඳහා ජාලකරණ කුසලතා වල වැදගත්කම, කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමට සහ සමබර ජීවිතයක් සඳහා විෂය බාහිර ක‍්‍රියාකාරකම්වල වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.

    ශිෂ්‍යත්වලාභීන් දියුණු වෙමින් මව්රටත් ගොඩනඟන බවට වන පොරොන්දුව අඩංගු ප‍්‍රණාම ගීතයේ අවසාන පේළි දෙක වූ ‘අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි - අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි’ යන්න ගැන සිතා බලන ලෙස සෙලින්කෝ ලයිෆ් හි අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රංග අබේනායක මහතා ශිෂ්‍යත්වලාභීන්ගෙන් ඉල්ලා සිටියේය. මීට වසර 22 කට පෙර මංගල ඉදිරිපත් කිරීමේ දී ප‍්‍රණාම ශිෂ්‍යත්වයක් ලැබූ 10 හැවිරිදි දරුවෙකුට දැන් වයස අවුරුදු 32 ක් වන බව පෙන්වා දුන් අබේනායක මහතා ප‍්‍රශ්නාර්ථයක් ලෙස දැක්වූයේ ”ඔහු හෝ ඇය දැන් ශ‍්‍රී ලංකාවේද? ඔවුන් අපේ රට හදනවාද නැත්නම් වෙන රටක් හදන්න උදව් කරනවාද?” යන්නය.

    පසුගිය ප‍්‍රණාම ශිෂ්‍යත්වලාභීන් බොහෝ දෙනෙක් මේ වන විට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, ගණකාධිකාරීවරුන් සහ වෙනත් වෘත්තීන්හි සාර්ථකව සේවයේ යෙදී සිටින අතර, අනාගත නායකයින් දිරිගැන්වීම සඳහා සෙලින්කෝ ලයිෆ් ප‍්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනේ එක් අරමුණක් ඉටු වී ඇති බව අබේනායක මහතා පැවසීය. ”නමුත් අපට අවශ්‍ය වන්නේ අපේ රටට ආදරය කරන පරම්පරාවන් ගොඩනැගීමටයි,” යනුවෙන් ඔහු අවධාරණය කළ අතර, ශිෂ්‍යත්ව ලබන්නන්ට අවශ්‍ය නම් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන ලෙසත්, නැවත ශ‍්‍රී ලංකාවට පැමිණ පෙර පරම්පරාවන්ට කිරීමට නොහැකි වූ දේ, එනම් රට ගොඩනඟා ගන්නා ලෙසට ඉල්ලා සිටියේය.

    සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් 25 දෙනෙකුටත්, 2021 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විශිෂ්ටතා දැක්වූ සිසුන් 25 දෙනෙකුටත්, 2021 අ.පො.ස. (උසස් පෙළ) දිස්ත‍්‍රික්කවල ප‍්‍රථම ස්ථානයන් හිමිකර ගත් සිසුන් 25 දෙනෙකුටත්, එසේම එම විභාගයේදීම 02, 03 සහ 04 වැනි ස්ථාන හිමිකර ගත් සිසුන් 66 දෙනෙකු සඳහාත් ශිෂ්‍යත්ව පිරිනැමිණි. තවද 2021 සහ 2022 වසරවලදී ක‍්‍රීඩා, සෞන්දර්යය, නවෝත්පාදන හෝ නිර්මාණශීලී ක්ෂේත්‍රවල ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ ශ‍්‍රී ලාංකික සිසු දරුවන් හට කුසලතා සම්මාන ද පිරිනමන ලදී.

    මෙවර ප‍්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන සමඟ සෙලින්කෝ ලයිෆ් විසින් ප‍්‍රණාම ශිෂ්‍යත්ව සඳහා ආයෝජනය කරන ලද මුදල රුපියල් මිලියන 200 ට ළඟා වන අතර සිසුන් 3,186 දෙනෙකුට ප‍්‍රතිලාභ ලබා ඇත.

    2022 වසරේ දී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් මෑතකදී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2023 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

     

    සේයාරු සටහන: සෙලින්කෝ ලයිෆ් ප‍්‍රණාම ශිෂ්‍යත්වලාභීන් පිරිසක්.