සෙලින්කෝ ලයිෆ් වෙතින් මාතලේ මහ රෝහලට ඔක්සිජන් බෙදා හැරීමේ නල පද්ධතියක්

    October, 10, 2023

    සෙලින්කෝ ලයිෆ් හි ප්‍රජා සත්කාරක වැඩසටහනක් තුළින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳන් 300කට ආසන්න ප්‍රමාණයකට ජීවිතාරක්ෂක ඔක්සිජන් අඛණ්ඩව සැපයීම දැන් සිදුවෙමින් පවතී.

    සිලින්ඩර නැවත පිරවීම හා අක්කර 22 ක පරිශ්‍රය පුරා ඇති වාට්ටු වෙත ඒවා ප්‍රවාහනය කිරීම සඳහා සිදුකෙරෙන ඉතා අපහසු, විශාල කාලයක් වැය වන සහ වියදම් අධික ක්‍රමවේදය බැහැර කරමින් රෝහලේ මධ්‍යම ඔක්සිජන් සාන්ද්‍රකය වාට්ටු සමඟ සම්බන්ධ කරන මෙම නල පද්ධතිය සෑදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් රුපියල් මිලියන 12.3 ක් ආයෝජනය කර ඇත.

    මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රතිකාරවල ගුණාත්මකභාවයේ සැළකිය යුතු දියුණුවක් ඇති කරමින් රෝහලේ දැඩි සත්තාර ඒකකය (ICU) සහ අනෙකුත් වාට්ටු ඔක්සිජන් සැපයුමෙන් ස්වයංපෝෂිත වී ඇති අතර, රෝහලේ ඔක්සිජන් සාන්ද්‍රකය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම ද මෙමගින් අපේක්ෂා කෙරේ.

    සෙලින්කෝ ලයිෆ් විසින් නව ඔක්සිජන් බෙදාහැරීමේ පද්ධතිය විධිමත් ලෙස රෝහල වෙත පවරාදීමේ උත්සවයේදී රුපියල් 500,000 කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ පිරිනැමීම ද සිදු විය.

    උත්සවයේදී අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා මෙසේ පැවසීය: “අපගේ සමාගම සෑමවිටම එහි සාර්ථකත්වය පාර්ශවකරුවන් සමඟ බෙදාගෙන ඇත. සාමාන්‍ය ජනතාව ද එවැනි එක් පාර්ශවකරුවෙකි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය, ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවා පද්ධති වලින් එකක් වන අතර ඕනෑම පුරවැසියෙකුට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකිය. නමුත් එහි පිරිවැය ඇඟවුම් සහ අභියෝග තිබේ. බොහෝ රෝහල්වලට අවශ්‍ය සෑම උපකරණයක්ම නොමැති බව අපි දනිමු. සෙලින්කෝ ලයිෆ් සිය ආයතනික සමාජයීය වගකීම් වැඩසටහනේ කොටසක් ලෙස රජයේ සෞඛ්‍ය සේවා පද්ධතියට වසර ගණනාවක් පුරා විවිධ දායකත්වයන් ලබා දී ඇත.”

    මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සඳහා සෙලින්කෝ ලයිෆ් දක්වන නොමසුරු දායකත්වය වෙනුවෙන් ස්තූතිය පුද කළ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ. ජී. එම්. එම්. ධර්මදාස මහතා, රෝගියෙකුගේ ජීවිතය පිළිබඳ “තීරණාත්මක හෝරාවේ” දී ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, මෙම වැඩසටහන මඟින් අසාධ්‍ය තත්වයේ සිටින රෝගීන්ට වඩා හොඳින් ප්‍රතිකාර කිරීමට රෝහලට හැකියාව ලැබෙන අයුරු පැහැදිලි කළේය.

    2022 වසරේ දී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් මෑතකදී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2023 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

    සේයාරු සටහන: සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්‍ෂරැ ප්‍රධාන විධායක නිළධාරී තුෂාර රණසිංහ මහතා (ඉහළ වමේ) ඔක්සිජන් බෙදාහැරීමේ පද්ධතිය පිළිබඳ නිළ ලියකියවිලි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ. ජී. එම්. එම්. ධර්මදාස මහතා වෙත පිරිනැමීම සහ (පහළ) සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්‍ෂවරුන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ රෝහල් නියෝජිතයින් උත්සවයෙදී.