සෙලින්කෝ ලයිෆ් 22 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවයි

    March, 13, 2023

    සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 22 වන වරටත් සමාගමේ ප‍්‍රමුඛතම ප‍්‍රතිලාභ වැඩසටහන වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ඇති තවත් දක්ෂ ශ‍්‍රී ලාංකික තරුණයන් 160 දෙනෙකු තෝරාපත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

    අංශ හතරක් යටතේ පිරිනැමෙන මෙම ශිෂ්‍යත්ව සඳහා දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවන් 2023 මාර්තු 1 සිට මැයි 31 දක්වා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කරන බව සමාගම සඳහන් කරයි. මේ වසරේ අගෝස්තු මාසයේ ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව ප‍්‍රදානය සිදු කිරීමට සැලසුම් කර තිබේ.

    අධ්‍යාපනය, ක‍්‍රීඩා, කලා කටයුතු සහ අනෙකුත් විෂය බාහිර ක‍්‍රියාකාරකම් සඳහා සුවිශෙෂී දක්ෂතා දැක්වු සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ගේ දරුවන්ට මෙම වසරේ ද රුපියල් මිලියන 11ක ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත බව සමාගම පවසයි.

    සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් මේ දක්වා රුපියල් මිලියන 177 ක මුදලක් ප‍්‍රදානය කර තිබෙන අතර සිසුන් 3,034 ක් මේ යටතේ ප‍්‍රතිලාභ ලබා ඇත. මෙම නවතම වැඩසටහන ද සමග සමස්තයක් ලෙස ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් රුපියල් මිලියන 188 ක මුදලක් බෙදා දෙන අතර ඒ තුළින් ප‍්‍රතිලාභ ලැබූ සිසු දරුවන් සංඛ්‍යාව 3194 දක්වා ඉහළ යනු ඇත.

    22 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ දරුවන්ට රුපියල් 120,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් වසර පහකදී මාසික වාරික වශයෙන් හිමිවන අතර මෙවැනි ශිෂ්‍යත්ව 25 ක් ලබාදීමට නියමිතය. එසේම, 2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී දක්ෂතා දැක් වූ දරුවන් 25 දෙනෙකුට සමාගම විසින් රුපියල් 84,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් හිමිවන්නේ වසර දෙකකදී මාසික වාරික වශයෙනි.

    මේ අතර, 2021 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී තම දිස්ත‍්‍රික්කයෙන් පළමුවැනියා වු දරුවන් 25 දෙනෙකුට සමාගම විසින් රුපියල් 144,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් පිරිනමන අතර එම මුදල වසර තුනකදී මාසික වාරික වශයෙන් ගෙවයි. එසේම, උසස් පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක වලින් දෙවන, තෙවන හා සිව්වන ස්ථාන ලබාගත් දරුවන් 75 දෙනෙකුට රුපියල් 30,000 බැගින් එක්වර ශිෂ්‍යත්වයක් ලෙස ලබාදීමටද සමාගම කටයුතු කරයි.

    විෂය බාහිර ක‍්‍රියාකාරකම්වල විශිෂ්ටත්වය හඳුනාගැනීම සඳහා 2021 සහ 2022 වසරවල ක‍්‍රීඩා, සෞන්දර්ය, නවෝත්පාදන හෝ නිර්මාණශීලී අංශ යටතේ ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක්වූ දරුවන්ට රුපියල් 35,000 ක් වටිනා කුසලතා සම්මාන 10 ක් පිරිනැමීමද මෙහිදී සිදුවේ.

    2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති අතර අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලබා ඇත. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.