සොඳුරු සිතුවමෙහි සැඟවුණු මාරයා!

    July, 24, 2015

    ඉපැරණි සුන්දර සිතුවමක් දුටු පමණින් ඒ වෙත නෙත සිත ඇදී යන්නේ නිරායාසයෙන්. සිතුවමක ආකර්ෂණීය බව කෙරෙහි චිත්‍ර ශිල්පියාගේ දක්ෂතාව මෙන්ම යොදාගන්නා මාධ්‍යයද බලපෑමක් එල්ල කරන බව නොරහසකි. සිතුවමක පමණක් නොව තමන්ගේ නිවෙස් වල බිත්ති සහ ගෘහ භාණ්ඩ වලට පවා ආලේප කරන තීන්ත පිළිබඳව අප සැළකිලිමත් වන්නේ ඒ නිසයි. එහෙත් ඉතාම සුන්දර සිතුවම් මතුපිටක වුවද, ජීවිතයක් සහමුලින්ම අකර්මණ්‍ය කළහැකි අනතුරක් සැඟව ඇති බව ඔබ දැන සිටියා ද?

    ඊයම් පිළිබඳව බොහෝදෙනා දන්නේ එක්කෝ පාස්සන්නට ගන්නා ඊයම් හේතුවෙනි. නැත්නම් බැටරිවල ඇති ඊයම් හේතුවෙනි. එහෙත් ඊයම් ඉතා බහුලව භාවිත වූ ඓතිහාසික කර්මාන්තයක් ද වෙයි. ඒ, තීන්ත කර්මාන්තයයි. ඊයම් සහ විනාකිරි යොදාගෙන තීන්ත නිෂ්පාදනය කිරීම ක්‍රි.පූ. 4 වන සියවස දක්වා අතීතයට දිවයන අතර, ඊයම් අඩංගු තීන්තවල ඇති දීප්තිමත් සුදු පැහැය නිසා එය චිත්‍ර ශිල්පීන් අතර ඉතා ජනප්‍රියව පැවතුණි. එහෙත් මෙසේ ඊයම් තීන්ත නිෂ්පාදනය කිරීම ඉතා අවදානම් ක්‍රියාවලියක් වූ අතර, ඒ කාලයේ පටන්ම ඊයම් විෂවීම හේතුවෙන් කම්කරුවන් අතර වලිප්පුව, හිසදරය සහ අපස්මාරය වැනි රෝග දක්නට ලැබුණු බව ඓතිහාසික රචකයෝ වාර්තා කරති.

    ඊයම් මිනිස් සිරුරට විෂදායක වන අතර, ස්නායු ආබාධ, දේහ වර්ධන ඌණතා සහ වකුගඩු අකර්මණ්‍යතා ඇතිකිරීමට හේතු වේ. ඊයම් විවිධ මාර්ග ඔස්සේ ශරීරගත විය හැකි අතර, ආහාර මාර්ගය සහ ශ්වසන මාර්ගය ඉන් ප්‍රධාන වේ. බහුතරයක් ඊයම් අවසානයේ අස්ථි වල තන්පත්වන අතර, එසේ තැන්පත් වී රුධිර සෛල නිෂ්පාදන ක්‍රියාවලියට බාධා එල්ල කරයි. මෙය ඌණ ප්‍රතිශක්තිය සහ රක්තහීනතාව ඇතිවීමට හේතු වේ. මේ හැර ඊයම් පිළිකාකාරකයක් බවට ද සැක කරනු ලබයි.

    ඊයම් තීන්තවල ඇති ප්‍රධාන අනතුර වන්නේ කාලයත් සමග ඊයම් තීන්ත පතුරු ගැලවීමට සහ සියුම් කැබලි සහ අංශු ලෙස වාතයට එකතුවීමට ඇති හැකියාව වේ. විශේෂයෙන්ම බාහිර පරිසර උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින පරිසර තත්ත්ව යටතේ මෙය වඩාත් පහසුවෙන් සිදුවේ. මීට අමතරව ඊයම් තීන්තවල ඇති පැණිරස ස්වභාවය, කුඩා දරුවන් විසින් නොදැනුවත්කමින් එම තීන්ත ආහාරයට ගැනීමට හේතුවක් ද වේ. මේ නිසා ඊයම් අඩංගු තීන්ත ලොව බොහෝ දියුණු රටවල භාවිතයෙන් ඉවත් කෙරෙමින් පවතින අතර, එක්සත් ජනපදය ප්‍රසිද්ධ ස්ථානවල සහ පෞද්ගලික නිවාසවල ඊයම් තීන්ත භාවිතය තහනම් කළේ වර්ෂ 1977 තරම් ඈතකදී ය. වර්ෂ 2020 වන විට ඊයම් තීන්ත භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වාලීම 2013 දී යෝජිත ලෝක සෞඛ්‍ය ඉලක්කයන් අතරින් එකකි.

    ඊයම් සහිත තීන්ත, මිනිස් සිරුරට ඊයම් එක්වන එක ක්‍රමයක් පමණයි. යල්පැනගිය අනාරක්ෂිත ඇසුරුම් ක්‍රම, රථවාහන දුම් සහ ඉවුම් පිහුම් උපකරණ ද මේ අතර වෙනවා. එහෙත් අවාසනාවකට මෙන් අප රටේ ඊයම් වර්ණක සහ තීන්ත පිළිබඳව ඇත්තේ ඉතා අඩු දැනුවත් භාවයකි. ඊයම් අනතුරින් මිදෙනු පිණිස අපට කල හැකි පළමු ක්‍රියාව, අප සියලුදෙනා අනතුර පිළිබඳව දැනුවත් වීමය.