සොෆ්ට්ලොජික් ලයිෆ් පාරම්පරික වෙදකම නගා සිටුවීම සඳහා හෙළ සහ ආයුර්වේද රක්ෂණාවරණය හඳුන්වා දෙමින් සිය සේවාවන් තවත් පුළුල් කරයි

    March, 26, 2021

    සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා වන සිය කැපවීම යළි යළිත් විදහා දක්වමින් මෙරට ජනප‍්‍රියතම රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් දිවයින පුරා පිහිටි ලියාපදිංචි පාරම්පරික වෙදකම සඳහා වූ රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානයින්හි සිදුකරන ප‍්‍රතිකාර සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දීමට කටයුතු කරන ලදී. පාරම්පරිකව ශ‍්‍රී ලාංකිකයන් බහුතරයකගේ නොමද විශ්වාසයට බඳුන් වී ඇති සාම්ප‍්‍රදායික වෙදකම හා ප‍්‍රතිකාර ක‍්‍රම තවදුරටත් නගා සිටුවීම වෙනුවෙන් තමන් සතු සුවිශේෂී රක්ෂණ සේවාවන් අතරට නවතම රක්ෂණාවරණයක් ලෙස මෙම සේවාව එක් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් පියවර ගෙන ඇත.

    විශේෂයෙන් දේශීය වශයෙන් පාරම්පරිකව එන රෝග සුව කිරීමේ මහඟු පාරම්පරික ඖෂධ සත්කාරයන්හි ප‍්‍රතිඵල ලබා ගැනීමට ශ‍්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබා දීම වෙනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් සේවා අතරට නවතම සේවාවක් ලෙස මෙම රක්ෂණාවරණය හඳුන්වා දෙනු ලැබූ අතර ඒ තුළින් මෙරට සාම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රමයන් ද තව තවත් දියුණවට පත් වනු ඇත.

    මේ පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා සඳහන් කර සිටියේ ‘‘ශ‍්‍රී ලාංකිකයන් අතර නොමද පිළිගැනීමට ලක්ව ඇති දේශීය සමාගමක් ලෙස මෙරට පාරම්පරික වෛද්‍ය ප‍්‍රතිකාර සේවාවන් ප‍්‍රවර්ධනය කිරීම අපගේ යුතුකමක් බව අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා. පරම්පරා ගණනාවක් තිස්සේ ඉක්මන් ශාරීරික හා මානසික සුවපත් භාවය වෙනුවෙන් ශ‍්‍රී ලාංකකියන්ගේ විශ්වාසය දිනාගෙන ඇති පාරම්පරික වෙදකම ඔවුන්ගේ ඉමහත් ගෞරවයට පාත‍්‍ර වන්නක් ලෙසද සඳහන් කළ හැකියි. අද වන විටත් අප බොහෝ දෙනා නිදන්ගත හා අසාධ්‍ය රෝගී තත්වයන් සුව කර ගැනීම සඳහා සාම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රම වෙත යොමු වෙමින් සිටින බව රහසක් නොවෙයි’’. යනුවෙනි.

    ඒ අනුව සොෆ්ට්ලොජික් ලයිෆ්හි ලියාපදිංචි ආයතනයක් විසින් නිකුත් කළ බිල්පතක් මගින් ඔවුන්ගේ ප‍්‍රතිකාර සඳහා වන වියදම් ආවරණයක් සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට මෙම නවතම සේවාව මගින් ලබා ගැනීමේ අවස්ථාව දැන් උදා වී ඇත. අනාගත පරපුර උදෙසා මෙම වටිනා පාරම්පරික වෛද්‍ය ක‍්‍රමෝපායන් එලෙසම පවත්වා ගෙන යාම සිය වගකීමක් ලෙස සලකන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉදිරියේදී දිවයින පුරා පිහිටි පිළිගත් පාරම්පරික වෛද්‍ය ආයතන සහ වෛද්‍යවරුන් සිය දෙනෙක් සමග එක්ව පුළුල් සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටී.

    තවද සාම්ප‍්‍රදායික දේශීය වෛද්‍ය ක‍්‍රමයන්හි මහිමය තුළින් රෝග සුව කර ගැනීමට වෙර දරන සුවහසක් ශ‍්‍රී ලාංකිකයින්ට ප‍්‍රතිලාභ සැලසීම අරමුණු කොටගත් මෙම සේවාව තුළින් දිවයින පුරා ක‍්‍රියාත්මක විශ්වසනීය හා කීර්තිමත් පාරම්පරික වෛද්‍ය මධ්‍යස්ථාන හඳුනා ගනිමින් ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීමට සමාගම අපේක්ෂා කරනු ලබයි. එසේම පාරම්පරික වෛද්‍ය ක‍්‍රමයන් පිළිබඳ අත්දැකීම් සහිත  ඕනෑම අයෙකුට වෙබ් අඩවිය වෙත පිවිස වෛද්‍යවරයකු හෝ රෝහල් ලියාපදිංචි කිරීමේ අවස්ථාවද උදා වේ. ඉන් පසු සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් එම තොරතුරු වෙබ් අඩවියෙහි පළ කරනු ලබන අතර ඒ තුළින් ශ‍්‍රී ලාංකිකයින්ට මෙන්ම විදේශිකයන් හටද පාරම්පරික වෛද්‍ය ප‍්‍රතිකාරයන්හි සුවිශේෂී බව අත්විඳීමේ හැකියාව උදා වනු ඇත.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉෆ්තිකාර් මහතා ‘‘ජනතාවගේ ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධ සමාගමක් ලෙස අප නිරන්තරයෙන් නිර්මාණශීලී හා ආකර්ෂණීය නව්‍ය සේවාවන් තුළින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට කැපවී කටයුතු කරනවා. ඒ නිසාම සමාජයේ විවිධ කොටස් සඳහා වන රක්ෂණ විසඳුම් ඉදිරිපත් කිරීම කෙරෙහි සොෆ්ට්ලොජික් ලයිෆ් අවධානය යොමු කර තිබෙනවා. එසේම තවමත් ප‍්‍රයෝජනයට ගෙන නොමැති විවිධ අංශයන්හි වර්ධනය සහ ව්‍යාප්තිය වෙනුවෙන් සුවිසල් අවස්ථාවන් රැසක් තිබෙන බව දක්නට හැකියි. ඒවාට විසඳුම් ගෙන එමින් අපගේ ගනුදෙනුකරුවන්ට වැඩි ප‍්‍රතිලාභ ලැබෙන පරිදි එම විසඳුම් සංවර්ධනය කිරීමට අපි නිරන්තරයෙන් කටයුතු කරන බවත් මේ මොහොතේ සඳහන් කළ හැකියි. එසේම මෙම සියලූ ප‍්‍රතිලාභ අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබා දීම වෙනුවෙන් අඛණ්ඩව අපගේ ආයෝජනයන් සිදු කිරීමට අප කටයුතු කර තිබෙනවා. ’’යනුවෙන් ද පැවසීය.

    විශේෂයෙන් නව්‍යකරණ සේවාවන් මත පදනම් වූ ආයතනික සංස්කෘතියක් මගින් සොෆ්ට්ලොජික් ලයිෆ් තමන්ගේ සියලූ කොටස්කරුවන් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින ලෝකය තුල අභියෝගයන්ට මුහුණ දීම වෙනුවෙන් සූදානම් කිරීම සඳහා පසුගිය වසර තුළ ක්ෂේත‍්‍රයේ සුවිශේෂී කඩඉම් රැසක් සනිටුහන් කරන ලදී. අද වන විට විශිෂ්ට පාරිභෝගික සේවාවක් හා කාලයට ගැලපෙන කඩිනම් නව්‍යකරණ සේවාවන් තුළින් සිය සාර්ථකත්වය සනිටුහන් කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් ඒ තුළින් මිලියන 1.5කට අධික ශ‍්‍රී ලාංකිකයන් පිරිසකගේ ඉමහත් විශ්වාසය තමන් සතු කරගනිමින් අතිශය සාර්ථකත්වයට පත්ව ඇත.

    වාර්ෂිකව දියත් කරනු ලබන ඵලදායී මැදිහත් වීමේ වැඩසටහනක් තුළින් පාරිභෝගික අවශ්‍යතා වඩා හොඳින් අවබෝධ කර ගැනීමට කටයුතු කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම වෙනුවෙන් නව නිෂ්පාදන හා සේවාවන් හඳුන්වා දීම, නවෝත්පාදන හා තාක්ෂණය මත පදනම් වූ  රක්ෂණ විසඳුම් වෙනුවෙන් වන පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්ද සැලකිය යුතු මුදලක් ආයෝජනය කරනු ලබයි.

    සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සීහි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ‍්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ‍්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයින් වන Leapfrog Investments ද ඇතුළත් වේ.