සොෆ්ට්ලොජික් ලයිෆ් හි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරට ඉන්දු ආටිගල පත්වේ

    January, 13, 2022

    ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ඉන්දු ආටිගල මහතා 2022 ජනවාරි 1 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටී.

    විකුණුම්, මෙහෙයුම් සහ විකුණුම් කළමනාකරණය පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් රක්ෂණ ක්ෂේත‍්‍රයේ වසර 27කට අධික අත්දැකීම්වලින් පරිපූර්ණ වූ ඉන්දු ආටිගල මහතා 2017 දී ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරීවරයා ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් සමඟ සම්බන්ධ විය. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව, රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික සේවාවන් සහ අත්දැකීම් වැඩිදියුණු කිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය උපායමාර්ගික නායකත්වය ලබා දෙමින් සහ රක්ෂණ ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන සොෆ්ට්ලොජික් සමාගමට දෙස් විදෙස් ඇගයීම් රාශියක් අත්කර දීමට උපකාරී වෙමින් ඔහු පසුගිය වසර තුන මුළුල්ලේ සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී ලෙස කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය.

    මෙම පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂක ඉෆ්තිකාර් අහමඞ් මහතා සඳහන් කළේ ‘’ඉන්දු තමාගේ හැකියාවන් උපරිමයෙන්ම ඔප්පුකල ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙක් සහ ප‍්‍රබල උපායශීලී චින්තකයෙක් වන අතර 2017 වසරේ සිට සොෆ්ට්ලොජික් ලයිෆ් හි කාර්ය සාධනයට ප‍්‍රබල ලෙස දායක වූවෙක්. ඔහු පසුගිය වසර කිහිපය තුළ සොෆ්ට්ලොජික් ලයිෆ් හි මෙහෙයුම් අද පවතින විශිෂ්ට මට්ටමට පරිවර්තනය කිරීම උදෙසා කැපී පෙනෙන කාර්යයක් ඉටු කර ඇත.

    ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත රක්ෂණ අත්දැකීම් වැඩි දියුණු කිරීමට අවශ්‍ය නවෝත්පාදන පිළිබඳ වසර ගණනාවක් මුළුල්ලේ එකතු කරගත් හසළ දැනුම සහ ක්ෂේත‍්‍රය තුළ ඔහුගේ ප‍්‍රවීණත්වය සහ නායකත්ව පළපුරුද්ද සමඟින් සොෆ්ට්ලොජික් ලයිෆ් හි වර්ධනයේ සහ සාර්ථකත්වයේ මීළඟ පරිච්ෙඡ්දය ශක්තිමත් කිරීම උදෙසා ඉන්දු ප‍්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට හොඳින් ස්ථානගත වී ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙනි.

    1993 දී CTC ඊගල් රක්ෂණ සමාගමේ ගිනි රක්ෂණය පිළිබඳ ප‍්‍රාරක්ෂකයෙකු ලෙස ඔහු සිය වෘත්තීයමය ජීවිතය ආරම්භ කළේය. ඔහුගේ වෘත්තීයමය ජීවිතයට වටිනා විදේශීය අත්දැකීමක් එකතු කරමින්, 2000දී ඉන්දුනීසියාවේ P.T Vitasia - General Insurance Brokers හි සේවය කළ අතර ඉන්දුනීසියාවේ සිට පැමිණීමෙන් පසු 2002 දී AVIVA NDB රක්ෂණ සමාගමට නැවත සම්බන්ධ විය. එහිදී සිය වෘත්තීය ගමන වෙනස් මගකට යොමු කරමින් සමාගමේ General Insurance Agency Channel සංවර්ධනය කිරීමේ අභියෝගය භාර ගත් අතර එහි General Insurance හි Agency Development ඒකකයේ සහකාර සාමාන්‍යාධිකාරී/අලෙවි ප‍්‍රධානී ලෙස ඔහුට උසස් වීමක් හිමි විය. ඒ මහතා 2012 දී AIA රක්ෂණ සමාගමේ Life Distribution හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස ඉන් ඉවත් වනතුරුම කටයුතු කළේය.

    ඉන්දු ආටිගල මහතා එක්සත් රාජධානියේ නෝර්ත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් (MBA) ලබා ඇත. තවද ඔහු ඉන්දියාවේ පූනේහි ජාතික රක්ෂණ ඇකඩමියේ සාමාන්‍ය ජීවිත රක්ෂණය පිළිබඳ තාක්ෂණික වැඩසටහන සාර්ථකව නිම කර ඇති අතර AIA හොංකොං විසින් පවත්වන ලද Advanced Agency Management වැඩසටහන ද සම්පූර්ණ කර ඇත. එමෙන්ම LIMRA Europe Limited සමාගම විසින් විසින් පිරිනමනු ලබන Master Class සම්මානයක් ද ඉන්දු ආටිගල මහතා විසින් ලබාගෙන ඇත.

    සොෆ්ට්ලොජික් ලයිෆ් රක්‍ෂණ සමාගම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය, අලෙවි, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, සංචාරක, මෝටර් රථ සහ මූල්‍ය සේවා යනාදී ක්ෂේත‍්‍රවල දැවැන්ත වර්ධනයක් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් හිමි සොෆ්ට්ලොජික් සමූහයේ සාමාජිකයෙකු වන සොෆ්ට්ලොජික් කැපිටල් පී.එල්.සී හි හිමිකාරීත්වය යටතේ පවතී. සමාගමේ සැලකිය යුතු කොටස්හිමි සමාගමක් ලෙස එක්සත් රාජධානියේ LeapFrog ආයෝජන සමාගම පෙන්වා දිය හැකිය.

    සොෆ්ට්ලොජික් ලයිෆ් නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී ඉන්දු ආටිගල මහතා