සෞඛ්‍ය සම්පන්නව සතුටි ජීවත් වීමට වැලකිය යුතු කරුණු 10 ක්

    July, 12, 2015

    මවක විසින් දස මසක් මව් කුස තුළ තබාගෙන ඉතාමත් සුරක්ෂිත ලෙස මෙලොවට බිහිකරන දරුවාට කුඩා කාලයේදී දෙමව්පියන් විසින් බොහෝවිට මනා ආරක්ෂාවක් සහ රැකවරණයක් ලබාදෙයි. ඔවුන් ක්‍රම ක්‍රමයෙන් වැඩිහිටියන් වනවිට නිදහසේ තීරණ ගැනීමට පෙළඹෙන අතර මෙම තීරණවල බුද්ධිමත් භාවය මත ඔවුන්ගේ අනාගතය තීරණය වනු ඇත. දිගුකාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට පවා වැදගත් වන්නේ අප විසින් ලබා ගන්නා මෙවැනි බුද්ධිමත් තීරණයි.

    දුම්බීම, මත්පැන් පානය, කෘත්‍රිම රසකාරක සහිත ආහාර ගැනීම, ක්ෂණික ආහාර වලට වැඩි ලොල්කමක් දැක්වීම, අධික සීනි සහිත සහ ලුණු සහිත ආහාර ගැනීම, රාත්‍රී කාලයේ ස්නානය කිරීම, විෂ සහිත තීන්ත වර්ග ගෙදර දොර ආලේප කිරීම, වැරදි ඉරියව් වලට වාඩිවී සිටීම, ගෙදර දොර භාණ්ඩ අනතුරු දායක ලෙස භාණ්ඩ තැන්පත් කර තැබීම, එන්නත් නොකළ සතුන් ගෙදර දොර සුරතලයට ඇති කිරීම යන කරුණු දහය නිසා අපගේ සෞඛ්‍ය මෙන්ම අප සමග ජීවත් වන අපගේ අයගේ සෞඛ්‍යද අනතුරට පත්වේ. මේ නිසා, ඇතැම් අවස්ථාවල අපගේ ජීවිතය පමණක් නොව අපගේ ළබැඳියන්ගේ ජීවිතයද අනතුරට පත්විය හැකිය. මේ නිසා, මෙවැනි කරුණු පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම වඩාත් බුද්ධිමත් සහ වගකීම් සහගත තැනැත්තෙකුගේ යුතුකම විය යුතුය.

    01. දුම්පානය

    දුම්පානය කිරීම ඔබ කරන්නේ නම් ඒ තුළින් ඔබගේ සෞඛ්‍ය දිනෙන් දිනම පිරිහේ. මේ නිසා, අනාගතයේදී ඔබ මේ නිසා විවිධ රෝගාබාධයන්ට ගොදුරුවීමට වැඩි ඉඩකඩක් තිබේ. එහිදී, ප්‍රතිකාර සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන අතර දුම්පානය සඳහා දිනපතා මුදල් වියදම් කිරීම නිසා ප්‍රතිකාර සඳහා වියදම් කිරීමට ඔබට මුදල් නැති වන්නට පුළුවන. එවිට ඔබ පත්වන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ. මීට අමතරව, ඔබ සමග වාසය කරන පුද්ගලයින්ටද දුම්පානය කිරීමේ බලපෑම එල්ලවන අතර කුඩා දරුවන්ට සුව නොවන ශ්වසන රෝග වැළඳීමට පියාගේ දුම්පානය හේතුවී ඇතැයි මේ වනවිට වෛද්‍යවරුන් සොයාගෙන තිබෙන කාරණාවකි.

    02. මත්පැන් පානය

    මත්පැන් කාලය, මුදල්, සෞඛ්‍ය සහ ජීවිතයේ සතුට යන සියල්ල විනාශ කර දමයි. ඔබ මත්පැන් පානය කිරීමට යොමු වුවහොත් අවසානයේදී ඔබ ලෙඩෙකු වන අතර මේ නිසා නිරෝගී සැපත ඔබේ ජීවිතයෙන් පලායයි. මේ නිසා, ඔබගේ පවුලේ සතුට සාමය මෙන්ම ධනයද සිඳී යන අතර මත්පැන් සඳහා ඇබ්බැහි වූවන්ගෙන් බහුතරය තම ජීවිතය නාස්ති කරගන්නා බව නොරහසකි. මේ නිසා, මෙවැනි අමිහිරි අත්දැකීම් ලැබීමෙන් මිදී ප්‍රීතිමත් ජීවිතයක් ගතකිරීම සඳහා මත්පැනින් වැලකී සිටීම ඉතාමත් වැදගත්වේ.

    03. කෘත්‍රිම රසකාරක සහිත ආහාර

    කෘත්‍රිම රසකාරක සහිත ආහාර සඳහා ඇබ්බැහිවීමද ජීවිතය ලෙඩ ගොඩක් බවට පත්කර ගැනීමට පාර කපා ගැනීමක් බඳු දෙයකි. මෙවැනි ආහාර නිසා දියවැඩියාව වැනි බෝ නොවන රෝගාබාධ වලට ගොදුරු වන අතර ශරීරය වීරූපි ආකාරයට තරබාරුවීම වැනි ගැටලු ගණනාවක් මේ නිසා ඇතිවීම වැලැක්වීමට නොහැකිය. මේ නිසා, අපේ මුතුන් මිත්තන්මෙන් ස්වභාවික ආහාර සඳහා වඩාත් යොමුවීම ඉතා වැදගත්ය. ඔවුන් දීර්ඝායුෂ ලැබීමේ රහස හොඳින් වැඩපළ කරමින් ස්වභාවික ආහාර පරිභෝජනය කිරීමයි.

    04. ක්ෂණික ආහාර

    අපි කාර්ය බහුල බව ඇත්තය. මේ නිසා, විනාඩියෙන් දෙකින් ආහාරයට ගත හැකි ක්ෂණික ආහාර සඳහා සමාජය මේ වනවිට වේගයෙන් යොමුවෙමින් තිබේ. විශේෂයෙන්ම කුඩා දරුවන් මෙම ක්ෂණික ආහාර සඳහා ඉතාමත් ඉක්මනින් ආකර්ශනය වේ. ඔවුන්ට සමබල ආහාර කැවීම මෙවැනි ආහාර සඳහා ඇබ්බැහිවීම නිසා ඉතාමත් අපහසු වන අතර ඔවුන් තරුණ වියේදීම බෝ නොවන ලෙඩ ගොඩකට ගොදුරුවීම සඳහා මෙම ආහාර රටාව හේතුවක් විය හැකිය. මේ නිසා, ඔබ මෙන්ම දරුවන්ද වෙළඳ පොළේ තිබෙන ජනප්‍රිය ක්ෂණික ආහාර වලින් ඉවත්වීම ජීවිතය අනවශ්‍ය අනතුරකට පත්කර ගැනීමෙන් වැලකී සිටීමකි.

    05. අධික සීනි සහ ලුණු සහිත ආහාර

    අධික සීනි සහ ලුණු සහිත ආහාර සඳහා ලොල් වීමද ජීවිතය අනතුරේ හෙළා ගැනීමකි. නගරයේ සුපිරි අවන්හල්වල ජනප්‍රිය අර්තාපල් තීරු ලුණු අධික ආහාරයකට කදිම ජනප්‍රිය උදාහරණයකි. ඇතැම් ජනප්‍රිය පැණි බීම කුඩා බෝතලයක සීනි හැදි 20 කට අධික ගණන් ඇතැයි වාර්තා පළවේ. මේ නිසා, මෙවැනි ආහාර ගැනීම නිසා දියවැඩියාව සහ අධි රුධිර පීඩනය ඇතිවීම සඳහා හොඳ පසුබිමක් ඇති කරයි.

    06. රාත්‍රී කාලයේ ස්නානය

    රාත්‍රී කාලයේ ස්නානය කිරීමද නරක පුරුද්දකි. මේ නිසා, පීනස වැනි රෝගාබාධ වැළඳෙන අතර වයස්ගත වනවිට මෙවැනි රෝග වලින් මරණය පවා සිදුවිය හැකිය. මීට අමතරව, අකලට කොණ්ඩය සුදු පැහැවීම වැනි තත්ත්වයන්ද රාත්‍රී කාලයේදී ස්නානය කරන පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවන ගැටලු වලින් එකකි.

    07. විෂ සහිත තීන්ත භාවිතය

    ඔබගේ නිවසේ තීන්ත ආලේප කිරීමේදීත් ඒවා විෂ සහිත තීන්තදැයි සොයා බලා අලේප කිරීම ඉතාමත් වැදගත් වේ. මන්දයත් ඉහත සඳහන් කළ සියළු වැරදි පුරුදු වලින් ඔබ මිදී සිටියත් ඔබ ඇතුළු මුළු පවුලම මෙවැනි විෂ සහිත තීන්ත නිසා විවිධ රෝගාබාධ වලට ගොදුරුවීමට හැකියාව තිබෙන නිසයි.

    විශේෂයෙන්ම මෙවැනි විෂ සහිත තීන්ත නිසා කුඩා දරුවන් නිවසේ, ගෙමිදුලේ, පාසලේ, ළමා උද්‍යානයේ සෙල්ලම් කරන විට ශරීරය තුළට විෂ සහිත ඊයම් ඇතුළු විය හැකිය. මේ නිසා, ගෘහස්ථ ඊයම් විෂවීම වැලැක්වීම සඳහා සෑම විටම ඊයම් රහිතම තීන්ත භාවිතා කිරීම වැදගත්වේ. ඊයම් සහිත තීන්ත පතුරු ගැලවී යාමේදී හා පලුදු වීමෙන් අවට දූවිල්ලට සහ පසට ඊයම් එකතු වේ. ඊයම් දරුවන්ට ඉතාමත් විෂ සහිත ලෝහයක් වන අතර එය දරුවන්ගේ බුද්ධි වර්ධනයට අහිතකර ලෙස බලපාන අතර ඉතා අධික මට්ටමේදී මරණය පවා සිදුවිය හැකිය. පස්, වැලි සමග සෙල්ලම් කිරීමත්, සෙල්ලම් භාණ්ඩ සපා බැලීමත්, දූවිලි තැවරුණු අත් කටේ දැමීමත් ළමයින්ගේ ගතියයි. ඔවුන් ඊයම් විෂෙන් සුරක්ෂිත කිරීම වැඩිහිටියන්ගේ වගකීමකි.

    මේනිසා, වැදගත් වන්නේ විෂ සහිත ද්‍රව්‍යයන්ගෙන් තොර මිනිසාට සහ පරිසරයට රැක ගැනීමට හේතුවන පරිසර හිතකාමී තීන්ත වර්ග තෝරා ගැනීමයි. පරිසර හිතකාමී තීන්න යනුවෙන් ලේබල් ගැසූ බොහෝ තීන්ත වර්ග මෙරට වෙළඳ පොළේ තිබුණත් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී තීන්ත වර්ග මෙරට වෙළඳ පොළේ ඇත්තේ ඉතාමත් සීමිත ප්‍රමාණයක් බව සිහියේ තබාගැනීම මෙහිදී ඉතාමත් වැදගත් වේ.


    08. වැරදි ඉරියව් වලින් වාඩිවී සිටීම

    වැරදි ඉරියව් වලට වාඩිවී සිටීම නිසා පිට කොන්දේ ආබාධ ඇතිවීම සිදුවේ. කුඩා දරුවන් පාසලේදී හෝ නිවසේදී වැරදි ඉරියව් වලින් වාඩිවී සිටින විට ගුරුවරුන් සහ දෙමව්පියන් එය වලක්වන්නේ ඒ නිසාය. මෝටර් රථය ධාවනය කිරීමේදී ඔබගේ ආසනය නිවැරදි ආකාරයට සකස් කර ගැනීමද වැරදි ඉරියව් මග හැරීමේ ක්‍රමයකි.


    09. ගෙදර දොර භාණ්ඩ අනතුරු දායක ලෙස භාණ්ඩ තැන්පත් කර තැබීම

    ගෙදර දොර භාණ්ඩ අනතුරු දායක ලෙස භාණ්ඩ තැන්පත් කර තැබීමද අවධානමකට අත වැනීමකි. උණු වතුර භාජන, පිහි, කතුරු, කුප්පි ලාම්පු වැනි දෑ කුඩා දරුවන්ගේ අතට හසුවන මානයේ නොතැබිය යුතුය. මෙවැනි දෑ නිසා කුඩා දරුවන් අනතුරට පත්වන අවස්ථා අපට වරින් වර අසන්නට ලැබේ. මීට අමතරව, සුළඟට හෝ සතෙකු පනින විට බිම වැටන ස්ථාන වලද භාණ්ඩ තැන්පත් කර තැබීම වැරදිය. මන්දයත් එම භාණ්ඩ යමෙකු මතට වැටුණහොත් එයින් හානියක් සිදුවිය හැකි නිසාවෙනි.

    10. සතුන් එන්නත් නොකිරීම

    එන්නත් නොකළ සතුන් සපා කෑම නිසාද පුද්ගලයින් මරණයට පත්වන අවස්ථා තිබේ. මේ නිසා, අනවශ්‍ය අවධානම් වලින් ඉවත්වීම සඳහා ගෙදර දොර සුරතලයට ඇති කරන සුරතල් සතුන් කලට වේලාවට එන්නත් කිරීම ඉතාමත් වැදගත්ය.