සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාවට රු. මිලියන 800ක් වටිනා ඔක්සිජන් නිපදවන නව උත්පාදක සපයයි

    December, 8, 2023

    හදිසි අවස්ථා වලදී දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ ජීවිත බේරා ගැනීම සඳහා යුනිසෙෆ් සංවිධානය මගින් නව ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර සහ උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇත.

    කැනඩාවෙන් ලැබෙන ප්‍රතිපාදන මත යුනිසෙෆ් ආයතනය රුපියල් මිලියන 800 ක වියදමින්, අවිස්සාවේල්ල, කෑගල්ල, තිස්සමහාරාම සහ උඩුගම මූලික රෝහල්වල ප්‍රධාන ඔක්සිජන් යන්ත්‍ර හතරක් ස්ථාපනය කර ඇති අතර, රට පුරා අනෙකුත් සෞඛ්‍ය මධ්‍යස්ථාන 30 කට ද සිලින්ඩර් භාවිතයෙන් ඔක්සිජන් නිපදවා බෙදා හැරීම සිදුකෙරේ.

    සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩාව සඳහා මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතා අතින් උපකරණ ලබා ගැනීමේ උත්සවයක් ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මූලික රෝහලේදී පැවැත්විණි.

    මිලියන තුනකට අධික පිරිසකට ප්‍රතිලාභ සැලසෙන මෙම ව්‍යාපෘතිය, විශේෂයෙන් හදිසි අවස්ථා වලදී මාතෘ සහ ළමා ආරක්ෂණ පහසුකම් සඳහා නිරන්තර ඔක්සිජන් සැපයීම සඳහා සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට වන යුනිසෙෆ් හි පුළුල් සැලසුමේ කොටසකි.

    “ඉතාම තීරණාත්මක අවස්ථාවල ළමයින්ට සහ පවුල්වලට අත්‍යවශ්‍ය සෞඛ්‍යය සේවා සඳහා ප්‍රවේශ වීම ජීවිතයට සහ මරණයට තීරණය කළ හැකියි,” ශ්‍රී ලංකාව සඳහා යුනිසෙෆ් නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් පැවසීය. “යුනිසෙෆ් ආධාරය හරහා, සංකීර්ණ දරු ප්‍රසූතිවලදී අලුත උපන් බිළිඳුන්ට සහ ඔවුන්ගේ මව්වරුන්ටත්, නියුමෝනියාවෙන් පෙළෙන දරුවන්ට ඇතුළුව නේවාසික ප්‍රතිකාර සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා අඛණ්ඩ වෛද්‍ය ඔක්සිජන් සැපයීම සඳහා මෙම රෝහල් වලට ඒකාබද්ධ පද්ධතියක් ලැබෙනු ඇත,” ඔහු පැවසීය.

    සෑම ඔක්සිජන් නිෂ්පාදනාගාරක පැයකට ඔක්සිජන් ලීටර් 20,000 ක් නිපදවිය හැකි අතර පැය 24 ක ඉඩක් තුළ ලීටර් 50, සිලින්ඩර 50ක් පිරවිය හැකිය. විදුලිය ඇණහිටීම් වලදී පවා ඔක්සිජන් බලාගාර ක්‍රියාකාරීව පැවතිය හැකි වන පරිදි බලශක්ති උත්පාදක යන්ත්‍ර ස්ථාපනය කිරීමට ද යුනිසෙෆ් සහාය විය.

    විවිධ හවුල්කරුවන්ගේ දායකත්වය ඇතිව, විශේෂයෙන් හදිසි අවස්ථා වලදී රට පුරා සිටින ළමුන් සඳහා සෞඛ්‍යය සේවාවන්හි ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සඳහා යුනිසෙෆ් දිගු කලක් තිස්සේ සෞඛ්‍යය අමාත්‍යාංශයට සහාය ලබා දී ඇත.