හමීඩියා විසින් සිය කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය සහ ක්‍රියාශීලිත්වය ඉහළ නැංවීමට Cycle to Work වැඩසටහන දියත් කරයි

    January, 5, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන හමීඩියා ආයතනය, සිය කාර්ය මණ්ඩලයේ ශාරීරික යෝග්‍යතාව වැඩිදියුණු කර සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඔවුන්ව දිරිමත් කිරීම සඳහා පාපැදිවලින් කාර්යාලයට පැමිණීම ප්‍රවර්ධන කරමින් “Cycle To Work” නමින් වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදී.

    ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න ශ්‍රම බලකායක් පවත්වාගෙන යාම සඳහා වූ හමීඩියා දැක්මේ එක් කොටසක් ලෙසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන, හමීඩියා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී දියත් කරන ලදී. සෞඛ්‍ය සහ යෝග්‍යතා උපදේශකවරයෙකු ලෙස ප්‍රචලිත, ප්‍රමුඛ පෙළේ අලෙවිකරුවෙකු සහ Spinner Cycling Lifestyle Center හි නිර්මාතෘ යසස් හේවගේ මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී විය- මෙම අවස්ථාවේ දී හමීඩියා ආයතනයේ කාර්ය මණ්ඩලය වෙත නවතම පාපැදි 50ක් ප්‍රදානය කෙරිණි.

    වර්තමානයේ බොහෝ සේවක සේවිකාවන් රැකියාවේ පවත්නා කාර්යබහුලත්වයත් සමගින් ඔවුන්ගේ සෞඛ්‍යය කෙරෙහි නිසි අවධානයක් යොමු නොකරයි. එමෙන්ම මාර්ග වල පවත්නා අධික වාහන තදබදය හේතුවෙන් කාර්යාලයට ඒමට සහ යාමට වැඩි වෙලාවක් ගත වෙයි. මෙම ගැටළු සඳහා කාලීන විසඳුමක් ලබා දීමේ අරමුණින් දියත් කරන ලද 'Cycle To Work’ වැඩසටහන මඟින් සේවක සේවිකාවන් සෞඛ්‍ය සම්පන්න කිරීමට මෙන්ම මාර්ගයේ ගත කරන කාලය අඩු කිරීමටද බලාපොරොත්තු වෙයි. තවද වර්තමානයේ පවත්නා පරිසර දූෂණ තත්ත්වයන් සහ තිරසාර ප්‍රවාහන ක්‍රම වෙත මාරුවීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන ආරම්භ කරන ලද  'Cycle To Work’ වැඩසටහන තම සේවක සේවිකාවන්ගේ මෙන්ම පරිසරයේ යහපැවැත්ම සඳහා හමීඩියා ආයතනයෙහි කැපවීම අවධාරණය කරන කාලෝචිත මුලපිරීමකි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හමීඩියා හි කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා ප්‍රකාශ කළේ, “අද දිනය සෞඛ්‍ය සම්පන්න ශ්‍රම බලකායක් බිහිකිරීම සඳහා හමීඩියා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක්. ක්‍රියාශීලි සහ සෞඛ්‍ය සම්පන්න කාර්ය මණ්ඩලයක් තිබීමේ වැදගත්කම ගැන මම දැඩි ලෙස විශ්වාස කරනවා. එවැනි කණ්ඩායමක් තම රැකියාව ඉතාමත් කාර්යක්ෂමව සිදු කරන අතර නිවසේදීද සතුටින් කාලය ගත කරනවා. මෙම 'Cycle To Work’ වැඩසටහන අපගේ කාර්ය මණ්ඩලයට දිනපතා අවශ්‍ය කරන ක්‍රියාශීලීත්වය ලබා දෙන අතර පරිසරයටද හිතකර වනවා. මේ වන විට පාපැදි පැදීම ඉතාමත් ජනප්‍රිය  ගෝලීය ප්‍රවණතාවයක්.”

    1949 දී ආරම්භ කරන ලද හමීඩියා ආයතනය ශ්‍රී ලාංකේය පිරිමි ඇඟලුම් විලාසිතා ක්ෂේත්‍රය තුල ප්‍රවණතා සකස් කරන්නන් බවට පත් වී ඇති අතර සෑම විටම උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දෙයි. හමීඩියා හි තත්වයෙන් උසස් පිරිමි ඇඟලුම් සන්නාම එකතුවට Envoy London, Le Bond, Signature, Van Heusen, Louis Philippe, Park Avenue සහ Adidas ඇතුළත් වේ.