හයිබ්‍රීඩ් වාහනවල බදු වැඩිකිරීම අත්වැරැද්දක් -ඇමති පාඨලී කියයි

    February, 25, 2015

    පරිසර අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ වර්තමාන විදුලිබල සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා තිබෙන්නේ නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් මෝටර් රථ සඳහා බදු වැඩිකිරීම සිදුව තිබෙන අත්වැරැද්දක් බවයි.

    ශ්‍රී ලංකා විදේශ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Sri Lanka's Foreign Correspondents Association) සමග අමාත්‍යවරයා මේ බව පවසා ඇතැයි වාර්තා වේ.

    පරිසර අමාත්‍යවරයා ලෙස සිටි අවධියේදී රණවක මහතා සූර්ය සහ පුනර්ජනනීය බලශක්තිය (renewable energy) ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවීමකින් කටයුතු කළේය.

    රාජපක්ෂ ආණ්ඩුව සාමාන්‍ය ජනතාවගේ ආහාර ද්‍රව්‍ය මත විශාල වශයෙන් බදු අය කළත් වත්මන් රජය සුපිරි වාසි බද්ද (super gains tax) මගින් වැඩි බදු අයකර තිබෙන්නේ ධනවතුන්ගෙන් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

    නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් වාහන සඳහා බදු වැඩිකර තිබෙන අතර ඒ තුළින් රැස්කර ගැනීමට සැලසුම් කර තිබෙන ආදායම රුපියල් බිලියන 07 කට ආසන්න වේ.

    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග සඳහන් කළේ පරිසර හිතකාමී හයිබ්‍රීඩ් වාහන සඳහා බදු වැඩිකරමින් හයිබ්‍රීඩ් වාහන මෙරටට පැමිණීම අධෛර්යමත් කිරීම එතරම් හොඳ ආර්ථික තීරණයක් නොවන බවයි.

    ලෝකයේ වෙනත් රටවල් මේ වනවිට ගමන් කරමින් සිටින්නේ හයිබ්‍රීඩ් සහ විදුලි මෝටර් රථ සඳහා බවත් ලංකාවේ විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේ ස්ථාන නොමැති නිසා මේ වනවිට අවස්ථාව තිබෙන්නේ හයිබ්‍රීඩ් මෝටර් රථ සඳහා බවත් ඔහු පැවසීය.