හල්පේ තේ සමාගම ජාතික අපනයන සම්මාන උළෙලේ රන් සම්මාන දෙකකින් පිදුම් ලබයි

    November, 19, 2015

    U.H.E සමාගම් සමූහයට අනුබද්ධිත හල්පේ තේ සමාගම, 23 වන ජාතික අපනයන සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකකින් පිදුම් ලැබුවේය.
    ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාතික අපනයන සම්මාන උළෙල 1992 වසරේ පටන් මෙරට අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයුමට ලක් කරන ප්‍රධානතම උළෙල ලෙස සෑම වසරකදීම අඛණ්ඩව පැවැත්වේ. පසුගිය සැප්තැම්බර් මස කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති මෙවර සම්මාන උළෙලේදී 2014 වසරේ අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ට හැකියාවන් පෙන්නුම් කළ සමාගම් ඇගයුමට ලක් කරන ලදි. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයේ ප්‍රධානී සහ තානාපති ගරු ඩේවිඩ් ඩේලි, ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය ගරු සුජීව සේනසිංහ, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු හර්ෂ ද සිල්වා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහ 600 කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

    "ජාතික අපනයන සම්මාන උළෙලේ රන් සම්මාන දෙකක් හිමි කර ගැනීමට අපට හැකි වුණේ හල්පේ තේ කාර්යමණ්ඩලයේ උත්සාහය සහ කැපවීම නිසයි. අපගේ ව්‍යාපාරය ද පවුලක් මත පදනම්ව ඇති නිසාම අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ට ද එම හැඟීම ලබා දීමට අප නිරන්තරයෙන් උත්සාහ කරනවා. ස්වාධීනව සහ අභිමානයෙන් යුතුව සේවයේ නිරත විය හැකි පරිසරයක් අප සමාගම තුළ නිර්මාණය කර තිබෙනවා. අඛණ්ඩව සාර්ථකත්වය වෙත ගමන් කිරීමටත්, ව්‍යාපාරයක් ලෙස වේගයෙන් ඉදිරිය බලා යාමටත් අපට හැකි වී තිබෙන්නේ මෙම පසුබිමයි." හල්පේ තේ සමාගමේ ප්‍රධානී සහ U.H.E. සමාගම් සමූහයේ අලෙවිකරණ අධ්‍යක්ෂ එරන්ද අබේරත්න මහතා සඳහන් කළේය.

    එරන්ද අබේරත්න මහතාගේ උපදේශනය සහ මගපෙන්වීම යටතේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට නිෂ්පාදන අපනයන සමාගම් අතලොස්ස අතරට එක් වීමට හල්පේ තේ සමාගමට හැකි විය. එය මේවන විට, තරගකාරී ජාත්‍යන්තර වෙළඳපලට සෘජුවම තත්ත්වයෙන් උසස්, නියම නැවුම් තේ අපනයනය කරන ප්‍රමුඛයෙකු බවට පත්ව තිබේ.

    හල්පේ තේ සමාගම සිය මවු සමාගමවන ඌව හල්පෙවත්ත එස්ටේට්ස් සමාගම යටතේ, කලු තේ, අගය එක් කළ තේ, හරිත තේ, කාබනික තේ, පලතුරු රසැති තේ, ඖෂධීය තේ, සුදු තේ සහ ක්ෂණික තේ වැනි ලොව පුරා ජනතාවගේ ආදරය දිනා ගත් නිෂ්පාදන රැසක් අපනයනය කරයි. සියලුම නිෂ්පාදන ISO, HACCP, ඕසෝන් හිතකාමී, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සිංහ සලකුණ ඇතුළු තත්ත්ව සහතික රැසක් හිමිකර ගැනීමට සමත්ව තිබීම නිෂ්පාදන ගුණාත්මක බවට මනා සාක්ෂ්‍ය සපයයි.

    "මෙවැනි සම්මාන සහ සහතික වලින් අප ලද පන්නරය තුළින්, මෙරට ආර්ථික සංවර්ධනයට දායකවන අතරතුර අපගේ පාරිභෝගික ජනතාවට තවදුරටත් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන සහ සේවා දීමට අප ඉදිරියේදීත් කැප වනවා. "එරන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද තේ ප්‍රවර්ධනය කිරීම සඳහා සමාගම දක්වන කැපවීම නිසාම, මෙරට රසවත් තේ සඳහා ප්‍රසිද්ධියක් උසුලන ඌව පළාතේ ප්‍රමුඛතම තේ කර්මාන්තශාලාව බවට ඌව හල්පෙවත්ත තේ කර්මාන්තශාලාව පත්ව තිබේ.