‘හේමාස් පියවර’ විසි වසරක මෙහෙවර සමරමින් විශේෂ සැමරුම් ප්‍රකාශනයක් එළිදක්වයි

    February, 6, 2023

    ‘හේමාස් අවුට්රීච් පදනමේ’ වසර 20ක මෙහෙවරෙහි ප්‍රධානතම ප්‍රජා සත්කාර ව්‍යාපෘතියවන ‘පියවර’ වැඩසටහනේ විසි වැනි සංවත්සරය වෙනුවෙන් සකස් කරන ලද විශේෂ සැමරුම් ප්‍රකාශනයක් පසුගියදා එළිදැක්විණි. ‘පියවර’ යනු ශ්‍රී ලංකාවේ දරුවන්ට රැකවරණය සලසමින්, ජීවිත කාලය පුරාම ඔවුන්ට සවිමත් අත්වැලක් සැපයීම ඉලක්ක කරගත් ජාතික මට්ටමේ මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන වැඩසටහනකි. ආරම්භයේ පටන් දශක දෙකක කාලයක් පුරා මෙරට දරු පරපුර වෙනුවෙන් මෙම වැඩසටහන මගින් ඉටු වූ මෙහෙවර මෙම සැමරුම් ප්‍රකාශනය තුළ සවිස්තරව දක්වා තිබේ. මෙය ජාතික මට්ටමේ ගැටලුවක් විසඳීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අතර ඇතිකරගත් සාර්ථක හා ඵලදායී හවුල්කාරීත්වයකට මනා උදාහරණයකි.

    ශ්‍රී ලංකාවේ අවම වරප්‍රසාදලාභී පවුල්වල දරුවන්ට අත්වැලක් වෙමින් ඔවුන්ගේ ජීවිතවලට ශක්තිමත් අඩිතාලමක් ලබාදීමේ අරමුණින්, හේමාස් සමූහ ව්‍යාපාරය විසින්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අයත් ළමා ලේකම් කාර්යාලය සමග එක්වී 2002 වසරේදී ‘පියවර’ වැඩසටහන දියත් කරන ලදි.

    ‘පියවර’ වැඩසටහන යටතේ  මේවන විට දිවයින පුරා පෙරපාසල් 62 ක් ඉදිකර, ඒවා අදාළ ප්‍රාදේශීය බලධාරීන් වෙත භාරදී ඇති අතර, එම බලධාරීන් විසින් එම පාසල්වලට නිසි සුදුසුකම් ලත් ගුරුවරුන් පත්කිරීම සිදුකරනු ලබයි. මෙම පාසල්වල සාමාන්‍ය නඩත්තු කටයුතු එම බලධාරීන් විසින් සිදුකරනු ලබන අතර, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා හේමාස් අවුට්රීච් පදනම මගින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය හා එක්ව වාර්ෂිකව ගුරු පුහුණු වැඩසටහන් සංවිධාන කරනු ලැබේ. මීට අමතරව මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය කෙරෙහි නිසි අවධානයක් යොමුකිරීමේ වැදගත්කම පෙන්වා දීම සඳහා, ‘පියවර’ පෙරපාසල් දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් වාර්ෂික දැනුවත් කිරීමේ වැඩසටහන්ද සංවිධාන කෙරේ.

    රට පුරා දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන, ළමා කේන්ද්‍රීය පෙරපාසල් ස්ථාපිත කිරීම ඔස්සේ මෙරට අවම වරප්‍රසාදලාභී පවුල්වල දරුවන්ගේ ජීවිත පෝෂණය කිරීමේ මෙහෙවරට උරදෙමින් සිටින ‘පියවර’ වැඩසටහන, මෙරට ප්‍රජාවන් සමග ගැඹුරින් සම්බන්ධ වූ යුග මෙහෙවරක් ලෙස මේ වනවිට විශාල කීර්තියක් දිනාගැනීමට සමත් වී ඇත.

    “මෙම විශේෂ සැමරුම් ප්‍රකාශනයක් එළි දක්වනුයේ ‘පියවර’ වැඩසටහන මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සැමරීමක් ලෙසිනි. මෙම වැඩසටහන මෙතෙක් පැමිණි ගමන්මග, එහි ප්‍රධාන සංධිස්ථාන සහ කැපීපෙනෙන ජයග්‍රහණ ආදිය පිළිබඳ සවිස්තර තොරතුරු මීට ඇතුළත් ය. ‘පියවර’ වැඩසටහනේ පරමාර්ථය වන්නේ, ළමා කේන්ද්‍රීය පෙරපාසලක් නිර්මාණය කිරීමත්, අධ්‍යාපනයට පරිකල්පනය, උද්‍යෝගය සහ කුතුහලය වැනි ගුණාංග මුසුකරමින් අවම වරප්‍රසාදලාභී ග්‍රාමීය ප්‍රජාවන්ට අයත් දරුවන් ඇතුළුව, රට පුරා විසිරුණු පියවර පෙරපාසල් 62 තුළ අධ්‍යාපනය ලබන දහස් සංඛ්‍යාත දරුවන්ගේ දැනුම හා ජීවන කුසලතා වැඩිදියුණු කිරීමයි.” හේමාස් අවුට්රීච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවා ය.

    “දිවයින පුරා විවිධ දුෂ්කරතාවන්ට සහ සමාජය තුළ අවම වරප්‍රසාද හිමි ප්‍රජාවන්ගේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් හිමිවන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම ඔස්සේ, මෙරට අසමානතා මුලිනුපුටා දැමීමට හේමාස් අවුට්රීච් පදනම වසර 20 ක කාලයක් පුරා සුවිශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. මේ දරුවන් සවිබල ගන්වමින් ඔවුන්ට වඩාත් යහපත් අනාගතයක් උදාකර දීමට අත්වැලක්වන අතරම, කිසිඳු දරුවෙකුට අසාධාරණයක් සිදු නොවන සමාජයක් බිහිකිරීමට කැපවීම අපගේ අරමුණයි. මෙම වැඩසටහන මෙතරම් සාර්ථක කරගැනීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් අප කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට සහ එහි හවුල්කාර ආයතනවලට ස්තූතිවන්ත වනවා. මෙම ව්‍යාපෘතිය මෙතරම් දැවැන්ත මට්ටමකින් ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබුණේ ඔවුන් ලබාදුන් සහයෝගය නිසයි.” හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පැවසුවා ය.

    හේමාස් අවුට්රීච් පදනමේ මගපෙන්වීම යටතේ, ජාතික මට්ටමේ වැදගත්කමකින් යුත් කරුණක්වන දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු ආමන්ත්‍රණය කිරීම සඳහා කේන්ද්‍රීය දායකත්වයක් දැක්වීමට ‘පියවර’ වැඩසටහන සමත් වී ඇත. එය මේ වනවිට, දරුවන්ගේ ජීවිතවල ආරම්භයේ සිටම සාධනීය බලපෑමක් ඇතිකිරීම තුළින් ඔවුන්ට වඩාත් යහපත් අනාගතයක් උරුමකර දිය හැකි ආකාරය සම්බන්ධ පැහැදිලි නිදර්ශනයක් බවට පත් වී තිබේ.

    හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී යටතේ පිහිටුවා ඇති හේමාස් අවුට්රීච් පදනම, පුරෝගාමී ආයතනික ප්‍රජා සත්කාරක වැඩසටහන් තුළින් අවම වරප්‍රසාදලාභී දරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා සමූහය දරන මෙහෙවරට නායකත්වය ලබාදෙයි. භාරකාර පදනමක් ලෙස ක්‍රියාත්මකවන හේමාස් අවුට්රීච් පදනම, සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත පිරිසකගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වේ.