හේලීස් පීඑල්සී හිමිකම් කොටස් නිකුතුවට ඉහළ ඉල්ලුමක්

    April, 22, 2026

    හේලීස් පීඑල්සී විසින් පසුගිය දා සිදුකරන ලද නව හිමිකම් කොටස් නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව එම සමාගම නිවේදනය කර සිටී.

    හේලීස් පීඑල්සී ඊයේ (21) දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරන ලද නවතම දැනුම් දීමට අනුව සමාගම විසින් නිකුත් කිරීමට අපේක්ෂා කළ කොටස් 45,000,000 සඳහා කොටස් 55,243,312 ක ප්‍රමාණයකට අයදුම්පත් ලැබී ඇත.

    ඒ අනුව, රුපියල් බිලියන 9ක මූලික ඉලක්කය ඉක්මවා යමින්, අතිරේක කොටස් සඳහා වූ අයදුම්පත් ද ඇතුළුව ලැබී ඇති මුළු මුදල රුපියල් 11,048,662,400 කි.

    මෙම හිමිකම් නිකුතුවේදී දැනට පවතින සෑම කොටස් 50ක් සඳහාම නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 3 බැගින් නිකුත් කෙරුණු අතර, එක් කොටසක මිල රුපියල් 200ක් විය. මෙමගින් රැස්කර ගනු ලබන ප්‍රාග්ධනය නව ආයෝජන සඳහා සහ පවතින ණය පියවීම සඳහා යොදා ගැනීමට නියමිත බව සමාගම සඳහන් කරයි.