හොල්සිම් ලංකා අන්තර් විශ්වවිද්‍යාල කොන්ක්‍රීට් මිශ්‍රණ සැලසුම් තරගාවලියේ ජය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට

    November, 18, 2015

    තිරසාර අනාගතයක් බිහි කිරීම වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් හොල්සිම් ලංකා සමාගම සංවිධානය කරන ලද කොන්ක්‍රීට් මිශ්‍රණ සැලසුම් තරගාවලිය පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. පේරාදෙණිය, මොරටුව සහ රුහුණ විශ්වවිද්‍යාලවල සිවිල් ඉංජිනේරු සිසුන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්විණි.

    ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශේෂ ක්ෂේත්‍රයක්වන කොන්ක්‍රීට් මිශ්‍රණ සැලසුම් අංශය තුළ තමන් සතු ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම බෙදාහදා ගැනීමට මෙන්ම කොන්ක්‍රීට් සම්බන්ධ කටයුතු පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීමටත්, කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමටත් මෙහිදී විශ්වවිද්‍යාල සිසුන් හට අවස්ථාව උදා විය.

    "තරගාවලිය ජුලි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා පේරාදෙණිය, මොරටුව සහ රුහුණ විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළ පැවැත්වුණා. හොල්සිම් ලංකා සමාගම සහ විශ්වවිද්‍යාල සිවිල් ඉංජිනේරු සංගම්වල මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලිය කොන්ක්‍රීට්වල ප්‍රායෝගික භාවිතාව පිළිබඳ පැවති වැඩමුළුවලින් ද සමන්විත වුණා. කුසලතා, දැනුම සහ පුහුණුව පිළිබඳ දැනුම බෙදාහදා ගන්නා අතරතුර, සන්නිවේදන කුසලතා, නායකත්ව ලක්ෂණ හා කණ්ඩායම් කුසලතා වර්ධනය තුළින් පුද්ගලික සහ වෘත්තීය සංවර්ධනය කෙරෙහි ද මෙම වැඩමුළු ඉලක්ක වුණා." කොන්ක්‍රීට් නව්‍යකරණ සහ යෙදවුම් කළමනාකාර ඉංජිනේරු තුෂාර ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.

    විශ්වවිද්‍යාලවල සිවිල් ඉංජිනේරු සංගම් විසින් තෝරා ගනු ලැබූ සැලසුම් යෝජනා, සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශයේ සහ හොල්සිම් ලංකා සමාගමේ නියෝජිතයන් විසින් ඇගයුමට ලක් කෙරිණි. විශ්වවිද්‍යාල සිසුහු තරගාවලිය පුරා ක්‍රියාකාරීව ඊට සහභාගී වෙමින් එය තමන්ට වඩාත් ඵලදායී වැඩසටහනක් බවට පත් කර ගත්හ.

    විශ්වවිද්‍යාල තුන නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම් අතරින් වැඩි ලකුණු ලබා ගත් කණ්ඩායමට මැලේසියාවේ පිහිටි ලෆාජ්හොල්සිම් කර්මාන්තශාලාව සහ සිංගප්පූරුවේ විශිෂ්ටතා මධ්‍යස්ථානය දැකබලා ගැනීම සඳහා චාරිකාවක් හිමි විය.