මෙරට ඩිජිටල් යටිතල පහසුකම් තව දුර යා යුතුයි – මහාචාර්ය සමරජීව

    December, 31, 2018

    ඉහළ ගුණාත්මක මට්ටමේ ඩිජිටල් යටිතල පහසුකම් ලබා ගැනීමෙහි ලා ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා ඇතත් තව යායුතු දුර බෝහෝ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

    රොහාන් සමරජීව මහතා මෙම අදහස් පළ කළේ ඩිජිටල් තාක්ෂණික විශිෂ්ටතා ඇගයීමට ලක් කෙරෙන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙල වන SLT ZERO ONE AWARDS 2018 සම්මාන උළෙලේදී යාවජීව සාර්ථකත්ව සම්මානයෙන්( Life Time Achievement Award) පිදුම් ලැබීම ගැන අදහස් දක්වමිණි.
    ප්‍රතිපත්ති සම්පාදකයෙක් හා ශ්‍රී ලාංකිකයින් සදහා වියදම් අඩු ඉතා උසස් තත්වයේ ඩිජිටල් යටිතල පහසුකම් ප්‍රවේශ කිරීම වෙනුවෙන් කරන ලද මෙහෙවර අගයමින් සම්මානය පිරිනමන ලද බව යාවජීව සාර්ථකත්ව සම්මාන හේතු පාඨයේ සදහන්වේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රොහාන් සමරජීව මහතා;

    2016 වර්ෂයේදී නිකුත් කරන ලද ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව මෙරට ගෘහ ඒකක වලින් සියයට 88.2ක් අවම වශයෙන් එක ජංගම දුරකථනය බැගින් භාවිත කරන බව අනාවරණය කර තිබෙනවා.එම සමීක්ෂණයට අනුව ගෘහස්ථ රූපවාහිනී භාවිතය සියයට 86.1 බව සදහන් කර තිබෙනවා .ඒකියන්නේ රූපවාහිනිය දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

    මෙයට වසර තිස් පහකට පමණ පෙර එනම් 1980 වර්ෂයේදී පමණ මා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තිය සකස් කිරීමට කටයුතු කළා.එවකට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කළමණාකර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේ පී.කේ.වික්‍රමාරච්චි මහතායි.ඒ වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ දුරකථන සංඛ්‍යාව 82000යි.ඍජු හුවමාරු ගණන 93000යි.ටෙලෙක්ස් සම්බන්ධතා 900යි.

    එසේම එකල බෝහෝ දුරකථන තිබුණේ රජයේ කාර්යාල වල නැතිනම් පොහොසත් ගෙදරක එහෙමත් නැතිනම් ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් වෙන්න ඕනෙ.මගේ කුඩා කාලයේදී මගේ ගෙදරත් දුරකථනයක් තිබුණේ නැහැ.‍ අද වන විට ශ්‍රී ලාංකිකයින් මිලියන ගණනක් අතිනවීන යෙදවුම් සහ සේවාවන් භාවිතා කරනවා.

    කෙසේ වෙතත් මේ සියලු වෙනස්කම් වලට බෝහෝ දෙනා දායක වුණා.දේශපාලනඥයින් ආයෝජකයින් රාජ්‍ය නිලධාරීන් නවෝත්පාදකයින් ඒවාගේම ලෝක බැංකුවත් මේ අතර වෙනවා.

    මා ලර්න් ඒෂීයා ආයතන ආරම්භ කිරීමෙන් පසු 2004 වර්ෂයේ සිට මේ පිලිඹද පර්යේෂණ සිදුකළා.ඊට සම්බන්ධ වු සියළු දෙනා මෙම සම්මානයේ කොටස් කරුවන් වෙනවා. 2018 අප්‍රේල් සිට මේ දක්වා ICTA ආයතනය සහ මගේ භූමිකාව ගැන සඳහන් නොකරමි. ඉක්බිතිව අප සැලකිය යුතු දේවල් සිදු කළ පසු ICTA හි සිදු කළ දේ ගැන කථා කරන්න අපේක්ෂා කරනවා.

    මහාචාර්ය රොහාන් සමරජීව මහතා තැපැල්/තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල මහතා අතින් සම්මානය ලබාගත් අයුරු ජායාරූපයේ දැක්වේ.ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී කුමාරසිංහ සිරිසේන මහතා ද ජායාරූපයේ වෙති.
    සම්මාන ප්‍රදානය නොබෝදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි.

      ආචාර්ය සමරතුංග යළි මුදල් අමාත්‍යාංශයට

      December, 31, 2018

      මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා යළි පත් කර තිබේ.

      ඒ මහතා අද (31) උදෑසන මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.

        හරීන්ගෙන් ‘ඩිජිටල්‘ හැලෙයි. මලික්ගෙන් ‘විද්‍යා තාක්ෂණ‘ ගැලවෙයි

        December, 29, 2018

        පසුගිය දා දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයේ සාමජිකයන් වන හරීන් ප්‍රනාන්දු හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් යටතේ තිබූ අමාත්‍යංශ කිහිපයක් ඉවත් කර තිබේ.

        මේ අනුව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ද, සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් මලික් සමරවික්‍රම මහතාගෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ද ඉවත් කර තිබේ.

        මෙම අමාත්‍යාංශ සඳහා පිළිවෙලින් කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරා මහතා සහ සුජීව සේනසිංහ මහතා පත්කර ඇත.

        මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍ර 3 ක් පහතින් දැක්වේ.

         

         

          Ease of Doing Business Index දර්ශකයේ ශ්‍රී ලංකාවේ තැන ඉදිරියට ගෙන ඒමේ වගකීම රවීට පැවරෙයි

          December, 29, 2018

          පසුගිය දා දිවුරුම් දෙනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලයේ එක් එක් අමාත්‍යවරයා භාරයේ පැවතිය යුතු විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන දැක්වෙන අති විශේෂ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

          ඊට අනුව නව අමාත්‍ය මණ්ඩලයේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතාගේ විෂයය පථයට අයත්වන කාර්යයන් හා කර්තව්‍යයන් දක්වා තිබේ.

          විදුලිබල හා බලශක්ති විෂයයන්ට අදාළ කර්තව්‍යයන්වලට අමතරව ආර්ථික සංවර්ධනය උදෙසා ව්‍යාපාර ක්ෂේත්‍රයේ දායකත්වය ඵලදායී ලෙස යොදා ලැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සැලසීම හා සානුබලයන් සැපයීම, ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ඇරඹීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ දර්ශකය (Ease of Doing Business Index) ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගැනීම ඇතුළු කර්තව්‍යයන් ගණනාවක් මේ අනුව අමාත්‍ය රවී කරුණානායක වෙත පැවරී තිබේ.

          මීට අමතරව පෞද්ගලික ව්‍යාපාර ක්ෂේත්‍රය මුහුණ දෙන ව්‍යාපාර ගැටළු හා බාධාවන් දුරු කිරීම සඳහා අවශ්‍ය ආයතනික සම්බන්ධීකරණය සිදුකිරීම හා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර හවුල් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පහසු හා කාර්යක්ෂම ක්‍රමවේද හඳුන්වාදීම ද විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයාගේ කාර්යභාරයන් ලෙසින් නම් කර ඇත.

          මෙම අති විශේෂ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

           

            අයදුමේ දී ඡායාරූප ‘ඇලවීම‘ අවශ්‍ය නැති ජාතික හැඳුනුම්පත ජනවාරි 01 සිට දිවයිනටම

            December, 29, 2018

            පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2019 ජනවාරි 01 දා සිට මුළු දිවයිනටම සුහුරු ජාතික හැඳුනුම්පත් (Smart National Identity Card) නිකුත් කිරීමට පියවරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

            මෙම සුහුරු හැඳුනුම්පත් අත්හදා බැලීමේ පදනම මත දෙසැම්බර් 17 දා සිට බස්නාහිර සහ සබරගමුව පළාත් වල පමණක් නිකුත් කිරීම අරඹනු ලැබීය. එය සාර්ථක වූ බැවින් ජනවාරි 1 දා සිට මුළු දිවයිනේම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට  තීරණය කළ බව ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

            මෙම නව ක්‍රමය යටතේ ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමේදී , අයදුම්පතේ අයදුම්කරුගේ ඡායාරූපය ඇලවීම අවශ්‍ය නොවේ. මේ සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප හල් වලින් පමණක් ඡායාරූප ගත යුතුය.එහිදී ගනු ලබන ඡායාරූප අයදුම්කරුට නොලැබෙන අතර ඡායාරූප ශාලා විසින් එය online (විද්‍යුත් තැපෑල) මගින් දෙපාර්තමේන්තුවට යවනු ලැබේ. ඡායාරූපයේ මුද්‍රිත පිටපතක් ඡායාරූප ශාලාව විසින් ලබාදෙන රිසිට් පතේ අලවනු ලබන අතර එම රිසිට් පත අයදුම්කරු විසින් තම ඉල්ලුම් පත්‍රය සමග ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවෙත බාරදිය යුතුය.

            සුහුරු ජාතික හැඳුනුම්පත් වලට ඡායාරූප ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි ඡායාරූප ශාලා 2100ක් දැනට ලියාපදිංචි කොට තිබේ. ඔවුන්ට ඒවා දෙපාර්තමේන්තුව වෙත යැවීම සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්නායකයන්ට අනුව සැකසූ විශේෂ මෘදුකාංගයක් ලබා දී ඇති බව ගුණතිලක මහතා කීය.

            මෙම නව ක්‍රමය මගින් ජාතික හැඳුනුම්පත් සඳහා විකෘති කළ හෝ වැරදි ඡායාරූප ඇතුළත් කිරීම වැනි අයථා ක්‍රියා නතරවෙනු ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය.

             

            News.lk

              මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

              December, 29, 2018

              ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 දෙසැම්බර් මස 27 වැනි දින පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී.

              මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වීමේ අරමුණ ඇතිව, දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මුදල් මණ්ඩලය සැලකිල්ලට ගනු ලැබීය.

                ‘මැදපෙරදිගට පමණක්‘ පාස්පෝට් මින් ඉදිරියට නැහැ

                December, 27, 2018

                ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ‘මැද පෙරදිග රටවල් සඳහා පමණක් වලංගුවන ගමන් බලපත්‍රය‘ 2018.12.31 දින සිට නිකුත් කිරීම අවසන් වන බව පාලක ජනරාල් එම්.එන්. රණසිංහ මහතා කියා සිටී.

                එසේම පාලක ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ 2019.01.01 දින සිට සියලූම රටවල් සඳහා වලංගුවන ගමන් බලපත්‍ර පමණක් නිකුත් කරනු ලබන බවත්ය.

                ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිල නිවේදනය පහතින් දැක්වේ.

                  2018 ප්‍රංශයේ කෑන් නුවර ILTM සංචාරක වෙළඳ ප්‍රදර්ශනයේ දී ලෝක සුඛෝපභෝගී සංචාරක වෙළඳාමේ පෙර නොවූ සාර්ථකත්වයක් ශ්‍රී ලංකාව අත්කර ගනී

                  December, 27, 2018

                  ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ (International Luxury Travel Market),එහි කීර්තිමත්භාවයට සරිලන පරිදි පසුගිය සතියේ, 2018 දෙසැම්බර් මස 3 වන දින සිට 6 දක්වා කෑන් නුවර Palais des Festivalsහී දී මහජනයා සඳහා විවෘත කරන ලදී.Palais des Festivals යනු ලෝක ප්‍රසිද්ධ කෑන් සිනමා උළෙලේ වඩාත් ප්‍රචලිතම ස්ථානය යි.රටවල් 101කින් ප්‍රදර්ශකයන් 1880ක් සහභාගී වූ ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ මෙවර පැවැත්වුනේ 17වැනි වරට වන අතර එය මෙතෙක් පැවති විශාලත ම ILTM ප්‍රදර්ශනය විය. පෙර වර්ෂ හා සැසදීමේ දී එය 8.5%ක වර්ධනයක් විය. පිළිගත් සුඛෝපභෝගී සංචාරක කර්තෘවරුන් හා බලපෑම්කරුවන් 200කට අධික සංඛ්‍යාවක් මෙවර ප්‍රදර්ශනයට සහභාගී වූ අතර, සහභාගී වූවන් 5000 අතුරින් 650ක් ම ප්‍රථම වරට සහභාගී වූ අය වූහ.

                  මේ වසරේදී ශ්‍රී ලංකා සංචරණය (Sri Lanka Tourism) දෙවන වරටත් මෙම සංචාරක ප්‍රදර්ශනය සඳහා සහභාගී විය. ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළේ ශ්‍රී ලංකාව සඳහා වෙන් වූ කලාපයෙහි සමාරම්භය එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ප්‍රංශයේ ශ්‍රී ලාංකික තානාපති බුද්ධි කේ. අතාවුද මහතා, යුරෝපය හා ආසියාව සඳහාසංචාරක වෙළඳ ප්‍රදර්ශන සංවිධායක හැරී ෆොවුල්ස් හා ඩේවිඩ් ටොඩ් යන මහත්වරුන්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සාරන්ගී තිලකසේන මෙනවිය, ප්‍රංශයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තෙවන කොන්සියුලර් ලේකම් දමිත හේවාවික්‍රම මහතා හා වෙළඳ නියෝජිතයන් රැසකගේ අනුග්‍රහය ඇතුව සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා තම සහයෝගය පළ කරමින් තානාපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වීම කාලෝචිත පියවරක් බව ය.

                  වෙළඳ කුටියේ සෑම අංගයක්ම සුඛෝපභෝගීත්වය ද ඇතුළුව ගමනාන්තයේ කීර්තිය හා ආකර්ෂණීයත්වය පිළිඹිබු වන පරිදි ශ්‍රී ලංකා කලාපය සැලසුම් කොට තිබුණි. සෑම සමාගමක් සඳහා ම වෙන්කෙරුණු, ඒවායේ ලක්ෂණ පිළිඹිබු කරන තනි පසු ආලෝකන පනෙල්වලින් සමන්විත වූ කුටි ලබා දීම මගින් සහභාගී වූවන් සඳහා විශේෂ අවධානය ලබාදීම කෙරෙහි මූලිකත්වය දෙනු ලැබීය.ව්‍යාපාර හමුවීම්වල දී පැමිණ සිටි සෑම අයෙකුට ම ඔවුන්ගේ භාවිතය උදෙසා අන්තර්ජාල පහසුකම් හා ප්‍රවර්ධන සන්නම් ද්‍රව්‍ය ලබා දෙන ලදී. ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ වෙළඳ ප්‍රදර්ශනය පුරාවට ම ලංකා තේ අලෙවිසැල විසින් නැවුම් තේ පිරිනමන ලදී.

                  ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළෙහි කළමණාකරණ ක්‍රියාවලිය විසින් සෑම ප්‍රදර්ශකයකු හා ගැනුම්කරුවකු හට ම ඔවුන්ගේ පෞද්ගලික හමුවීම් ලැයිස්තුවක් ලබා දෙනු ලබයි. එය ප්‍රදර්ශනයට පෙර තහවුරු කරගන්නා ලද ඔවුන්ගේ හා ප්‍රදර්ශකයන්ගේ ඉල්ලීම්වල සංකලනයක් වේ. පෙර සූදානම් කරගන්නා ලද අන්‍යෝන්‍ය වශයෙන් ගැළපෙන හමුවීම්වලින් පසු, දළ වශයෙන් පැයකට හමුවීම් 3ක් වශයෙන් එකක සිට අනෙකට මාරු වීම සඳහා ලබා දෙන මිනිත්තු 5ක විවේක කාලයකින් වෙන් කරන ලද මිනිත්තු 15 හමුවීම් සඳහන් කරන ලද නියමිත කාලසටහනක්  සෑම ප්‍රදර්ශකයෙකු හට ම හිමි වේ. ගැනුම්කරුවන් හා ප්‍රදර්ශකයන් තෝරාගැනීමේ දී හා අමුත්තන්ගේ හා ප්‍රදර්ශකයන්ගේ කාලසටහන කළමණාකරණය කිරීමේ දීදැඩි ක්‍රියා පිළිවෙළක් අනුගමනය කරන අතර එය අමුත්තන්ගේ අභිමතයන් හා සමගාමී ව සිදු කීරීම, ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ ප්‍රදර්ශනයේ සාර්ථකත්වය හා ගුණාත්මකබව තහවුරු කරයි. ශ්‍රී ලංකාවෙන් ප්‍රදර්ශනය සඳහා සහභාගී වූ ප්‍රධාන වෙළඳ සහභාගීන් අතරට අනන්තර නිවාඩු නිකේතනය, ජෙට්වින්ග් හෝටල් සමූහය, Antiquities, Abercrombie and Kent, Mosvold සංචාරක බංගලාව, තීම් නිවාඩු නිකේතනය හා සම්භාහන මධ්‍යස්ථානය, වත්තුර නිවාඩු නිකේතනය, Authenticities, NKAR සංචාරකයෝ, Tour Blue, Whittall Boustead ආදිය අයත් වූ අතර ප්‍රදර්ශනය අතරතුර ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවවන්ට ගැළපෙන බොහෝ ගැනුම්කරුවන් හමුවීමට එම ආයතනවලට හැකියාව ලැබුණි.

                  ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලාංකික සංචාරක නියෝජිතයින්හට සුඛෝපභෝගී සංචාරක ප්‍රජාව හමුවිය. එම සාකච්ඡා අනාගතයේ දී ඉහළ මට්ටමේ සම්බන්ධතාවයන්තහවුරු කරමින් ශ්‍රී ලංකාව උදෙසා සුඛෝපභෝගී සංචාරක අංශයේනව ප්‍රචාරණ මාවතක් විවර කොට ඇත.

                  ප්‍රසිද්ධ සංචාරක වෙළඳ සඟරාවක් වන La Quotidienneහි සංස්කාරක ෆ්‍රෙඩරික් ද පොලිග්නි විසින් ප්‍රංශයේ ශ්‍රී ලාංකික තානාපතිවරයා සමග මාධ්‍ය සාකඡ්ඡාවක් පවත්වන ලදී. එම ලිපිය La Quotidienneසඟරාවේ පළකොට ඇති අතර එය සංචාරක වෙළඳාම තුළ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ සැබෑ ප්‍රතිරූපයක් පෙන්වා දෙන හෙයින් ව්‍යාපාරික පාර්ශ්වකරුවන් විසින් ඉමහත් ලෙස අගය කිරීමට ලක් කොට ඇත.

                  සුඛෝපභෝගී ශ්‍රී ලාංකික නිෂ්පාදන අංශ සඳහා ව්‍යාපාරික අවස්ථා රැසක් නිර්මාණය කරදුන් ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයෙහි සාර්ථකත්වය අධාරයෙන් සුඛෝපභෝගී සංචාරක අංශයක් වෙනුවෙන් ඉලක්ක කරන ලද ප්‍රවර්ධනව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය අපේක්ෂා කරයි.

                  බුද්ධි අතාවුද, ප්‍රංශයේ ශ්‍රී ලාංකික තානාපති ශ්‍රී ලංකා වෙළඳ කුටිය විවෘත කරමින්

                   

                   

                    රට දිනවන ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ අභියෝගය භාරගන්නවා

                    December, 26, 2018

                    අමාත්‍ය ධූරයේ වැඩභාර ගනිමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි

                    ශ්‍රී ලංකාවාසී සියළුම දෙනාට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන සමාජ සාධාරණත්වයෙන් යුතු දැනුම මත පදනම් වූ තරගකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට තවදුරටත් තමන් නායකත්වය ලබාදෙන බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස අද (26) පෙරවරුවේ වැඩභාර ගනිමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

                    මහා සංඝරත්නයේ ආශීර්වාද මැද කොළඹ කොටුවේ අමාත්‍යංශ කාර්යාලයේදී අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩභාර ගත් අතර එම අවස්ථාවට අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින්ද සහභාගී විය.

                    මෙහිදී, අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ සමාජ සාධාරණත්වයෙන් යුතු දැනුම මත පදනම් වූ තරගකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට පසුගිය කාලයේදීත් තමා දායකත්වය ලබාදුන් බවත් එහිදී විවිධ අභියෝගයන්ට මුහුණ දුන් බවයි.

                    සෞඛ්‍ය, අධ්‍යාපනය, ජාත්‍යන්තර වෙළඳාම ඇතුළු ක්ෂේත්‍රවල ධනාත්මක ප්‍රතිසංස්කරණ මෙරටට හඳුන්වාදීම ඉතාමත් වැදගත් බවත් ඒ වෙනුවෙන් විරුද්ධ අදහස් දක්වන පිරිස් සමග බුද්ධිමය සංවාදයේ යෙදීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

                    ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ  අභියෝගය තමන් භාරගන්නා බවයි.

                      ලයිට්හවුස් හෝටලයේ අලුත්වැඩියාවට රු. මිලියන 450 ක්

                      December, 26, 2018

                      කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේ  අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 450 ක් ආයෝජනය කිරීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

                      ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලය, කාමර 85 කින් සමන්විත වන අතර මෙම ව්‍යාපෘතිය යටතේ ඉන් කාමර 63 ක් අලුත්වැඩියා කිරීමට නියමිතය. 2019 මැයි සිට ජූලි කාලපරිච්ඡේදය තුළ දී මෙකී අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත වේ. එම කාලපරිච්ඡේදය තුළ දී සෙසු කාමර 22 පමණක් මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බව, ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටල් සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

                      මීට අමතරව හෝටලයේ පොදු මහජන පරිශ්‍ර, පිරියත හා උපකරණ මෙන්ම සේවා කලාප ද අලුත්වැඩියා කෙරේ.

                      මෙම සියලු අලුත්වැඩියා කටයුතුවලින් පසු 2019 අගෝස්තු මාසයේ සිට හෝටලය නව මුහුණුවරකින් හා අනන්‍ය වූ ආගන්තුක සත්කාරක වැඩපිළිවෙලකින් සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.