2019 ඉ-ස්වාභිමානී සම්මාන උළෙලේ දී නවෝත්පාදන හා නිපැයුම් 44 ක් ජාතික ඇගැයුමට

    October, 22, 2019

    2019 ඉ-ස්වාභිමානී සම්මාන උළෙලේදී සමාජ සුභ සිද්ධිය සඳහා බල පෑමක් කළ හැකි නවෝත්පාදන හා නිපැයුම්  44 ක් ජාතික ඇගැයුමට ලක්කෙරුණි.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් නමවන වරටත් මෙම සම්මාන ප්‍රදානෝත්සවය  සංවිධානය කර තිබු අතර  කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ  මෙම සම්මාන ප්‍රදානය පැවැත්විණි.

    රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය, සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය, සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය, සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ව්‍යාපාර හා වානිජ්‍ය, අන්තර්ග්‍රහනය හා බලගැන්වීම, ඩිජිටල් විනෝදාස්වාදය යන  මුලික තරග කාණ්ඩ යටතේ මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි.

    මෙම කාණ්ඩ යටතේ ඉදිරිපත් වු නව නිපැයුම් ජනතාවගේ ජීවන කටයුතු පහසු කිරීම සදහා ඩිජිටල් තාක්ෂණය කොපමණ දුරට  භාවිත කර තිබේද යන්නත් එතුලින් කොතරම් සමාජ බලපෑමක් ඇතිකර තිබේද යන්නත් සැලකිල්ලට ගැනිණ.

    තරුණ නිර්මාණකරුවන් දිරිගැන්වීම සදහා ඹවුන් උදෙසා විශේෂ යෞවන සම්මාණ දෙකක් ද මෙවර පිරිනැමිණි.

    මෙහිදී  සම්මාන ප්‍රදානයට පාත්‍ර වු මෘදුකාංග සහ යෙදවුම් හයක්   ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය සදහා නිර්දේශ කෙරිණි.

    ඉහත ක්ෂේත්‍රයන්හි ප්‍රවීන විශේඥයින්  17 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම ඇගයුම් සදහා දායක විය.

    ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යය අජිත් පී පෙරේරා මහතා සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් මෙසේ පැවසීය, “අද අපට හැකි වී තිබෙනවා ජාත්‍යන්තර ප්‍රමිතියට පවා අනුකූල වන ආකාරයේ  මෘදුකාංග නිෂ්පාදනයට පමණක් නෙමෙයි දෘඩාංග නිෂ්පාදනය කිරීමටත් ඉතා දක්ෂයින් මෙරට සිටින බව. අපේ රටේ අනාගතය ජය ගැනීමේ මග තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය මත රදා පවතිනවා.මේ වන විට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ උපාධිධාරීන්ට රැකියා ඇති තරම් තිබෙනවා.නමුත් එතරම් ප්‍රමාණයක් උපාධිධාරීන් නොමැතිවීම තමයි ගැටළුව.එම උපාධිධාරීන් එකොළොස් දහසකගේ හිගයක් මේ වන විට තිබෙනවා.ලගදීම 1වසරේ සිටම තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය පාසැල්වල ඉගැන්වීමට අපේක්ෂා කරනවා.එසේම ඉංග්‍රීසි විෂය සම්බන්ධයෙනුත් දැනට වඩා ප්‍රමුඛතාවය ලබා දීමට අපේක්ෂා කරනවා.“

    මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා ‍තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මහාචාර්ය රොහාන් සමරජීව මහතා,  “පසුගිය දිනවල තොරතුරු සන්නිවේදන තාක්ෂණ සතියක් අප ප්‍රකාශයට පත්කර  තිබුණා.ඒ සදහා මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ සෑම දෙනාගේම පාහේ සහයෝගය අපට ලැබුණා.අප ඊට ගරු කරනවා රටට ජාතියට ආර්ථිකයට ශක්තියක් වෙන්න නම් නවෝත්පාදන එලි දක්වන්න උවමනායි. කුමාරතුංග මුණිදාසතුමා කියා තිබෙනවා අළුත් අළුත් දෑ තොතනන ජාතිය ලෝ නොනගී කියා. එවැනි දේ කරන අය අප අගය කරන්න ඕනෑ.මේ සම්මාන ප්‍රදානයෙත් අරමුණ එයයි.“

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ  ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත් මහතා ඇතුළු  රජයේ ජේෂ්ඨ නිලධාරීන් ව්‍යාපාරික  ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.