2020 දී ආර්ථිකයේ 3.9% ක සංකෝචනයක්

    January, 4, 2021

    2020 සිව්වන කාර්තුවේ ප්‍රවණතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආර්ථිකය 2020 වසර තුළ දී සියයට 3.9 ක පමණ සංකෝචනය වීමක් වාර්තා කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. “පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා අද (04) දින මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා,

    “අනෙකුත් ගෝලීය ආර්ථිකයන් මෙන්ම ශ්‍රී ලංකාව ද 2020 වසරේ දී, විශේෂයෙන් දෙවන කාර්තුවේ දී, සැලකිය යුතු ආර්ථික පසුබෑමකට ලක්විය. උද්ධමනය පාලනය වී ඇති වාතාවරණයක් යටතේ. වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නගාසිටුවීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පෙර නොවූ පරිමාණයකින් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබීය. මෙම ක්‍රියාමාර්ග සහ රජය විසින් ආරම්භ කරන ලද ආර්ථික පුනර්ජීවන වැඩසටහන් 2020 වසරේ තුන්වන කාර්තුව තුළ දී ආර්ථික ක්‍රියාකාරකම් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමකින් යතා තත්ත්වයට පත්වීමට හේතු විය.“

    “කෙසේ වෙතත්, කොවිඩ්-19 හි දෙවන රැල්ල පැතිර යෑම, වසරේ අවසාන කාර්තුවේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම කෙරෙහි යම් දුරකට බලපෑම් ඇති කළේය. 2020 පළමු කාර්තුවේ දී සුළු සංකෝචනයක් ද, දෙවන කාර්තුවේ දී සාපේක්ෂව විශාල සංකෝචනයක් ද වාර්තා කිරීමෙන් අනතුරුව, ආර්ථිකය තෙවන කාර්තුවේ දී සුළු වශයෙන් ධන වර්ධනයක් වාර්තා කළේය. සිව්වන කාර්තුවේ ප්‍රවණතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, ආර්ථිකය වසර තුළ දී සියයට 3.9ක පමණ සංකෝචනය වීමක් වාර්තා කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.“

    “අභියෝගාත්මක දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ ආර්ථිකයට ප්‍රමාණවත් උත්තේජනයක් ලබා දීම සඳහා මුදල් හා රාජ්‍ය මූල්‍ය මැදිහත්වීම් තුළින් අඛණ්ඩ සහයෝගය අත්‍යාවශ්‍ය බව මහ බැංකුවේ අදහසයි. එමනිසා, ආර්ථික ක්‍රියාකාරකම් අපේක්ෂිත අන්දමට යථාතත්ත්වයට පත්වීම සහතික කිරීම සඳහා මහ බැංකුව දැනට පවත්නා ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය 2021 වසරේ දීද අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. එහෙත් උද්ධමන ප්‍රවණතා කෙරෙහි ආර්ථිකයේ සමස්ත ඉල්ලුම මත පදනම්ව ඇති විය හැකි ඕනෑම පීඩනයක් වළක්වා ගැනීම සඳහා අපි නිරතුරුවම සාර්ව ආර්ථිකයේ සිදුවන වෙනස්වීම් සමීපව නිරීක්ෂණය කරන්නෙමු.“