2020 වසරේ ආර්ථිකයේ හැසිරීම කෙසේ වනු ඇත්ද ?

    February, 11, 2020

    ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ 2020 පුරෝකථන වාර්තාව අපේක්ෂිත ආර්ථික වෙනස්වීම් පිළිබඳ විශ්ලේෂණය කරයි

    ලංකා වාණිජ මණ්ඩලය විසින් 2020 වසර සඳහා වන වාර්ෂික පුරෝකථන වාර්තාව සඳුදා (10) ‘ආර්ථික හා අංශ සමාලෝචන සහ පුරෝකථනය - 2020‘ උත්සවයේදී එළිදක්වන ලදී.

    ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික තොරතුරු ඒකකය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද මෙම වාර්තාව 2020 වර්ෂයේ දී අපේක්ෂිත සාර්ව ආර්ථික වෙනස්වීම් මෙන්ම ආර්ථිකයේ විවිධ අංශවල අනාගතය පිළිබඳ විශ්ලේෂණය කරයි. ඉන් ආවරණය වන අංශ අතර ඇඟලුම්, කල්පවතින පාරිභෝගික භාණ්ඩ, එදිනෙදා භාවිතා කරන පාරිභෝගික භාණ්ඩ, සංචාරක, ඉදිකිරීම්, කෘෂිකාර්මික, වැවිලි හා කිරි නිෂ්පාදන යන අංශ ඇතුළත් වේ. වාර්තාව මඟින් ආර්ථිකයේ ක‍්‍රියාකාරිත්වය සහ ඉදිරි වර්ෂයේදී එක් එක් අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද සමාලෝචනය කරයි.

    පිළිගැනීමේ දේශනය පවත්වමින් වාණිජ මණ්ඩල මහලේකම් සහ ප‍්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතා පෙන්වා දුන්නේ ලංකාව  තුල වෙනසක් ඇති කිරීමට නම්, ඉදිරි වසර පහ තුළ 7% ක වර්ධන වේගයක් අත්පත් කරගත යුතු බවයි.

    වාර්තාව ඉදිරිපත් කරමින් වාණිජ මණ්ඩලයේ ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥ ශිරාන් ප‍්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ 2020 වසර සඳහා වූ වාර්තාව සම්පාදනය කිරීමේදී ආර්ථික වර්ධනය පිළිබඳව කරුණු බෙහෙවින් සැලකිල්ලට ගත් බවයි. ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2020 දී 3.5% ඉක්මවා යනු ඇති අතර, එයින් සැලකිය යුතු ප‍්‍රමාණයක් පරිභෝජනයේ ඉහළයාම මත පදනම් වනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.  වාර්තාවේ අඩංගු ප‍්‍රධාන කරුණු පහත පරිදි වේ.

    -              2020 වසර සඳහා වන ගෝලීය ආර්ථික දැක්ම යහපත් වන නමුත් එය අස්ථාවර විය හැක

    -              ආර්ථික වර්ධනය සහ ස්ථායිතාව - ආර්ථික වර්ධනයේ ප‍්‍රගතිය ළඟා කර ගැනීමේදී ස්ථායිතාවයට අහිතකර බලපෑමක් ඇතිවිය හැකිය.

    -              වර්ධන වේගය පවත්වා ගැනීම සඳහා ප‍්‍රධාන ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කළ යුතුය

    -              ප‍්‍රධාන අංශවල වඩා හොඳ කාර්ය සාධනයක් 2020 දී අපේක්ෂා කෙරේ

    මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම සහ වාර්තාව එළිදැක්වීම, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා, ආසියානු සුරැකුම්පත් සමාගමේ සභාපති දුමිත් ප‍්‍රනාන්දු මහතා, වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනි අබේසිංහ මහත්මිය, සහ ෆිච් රේටිංස් ලංකා ආයතනයේ ජාතික ප‍්‍රධානී මනින්ද වික‍්‍රමසිංහ මහතා යන අයගෙන් සමන්විත  සාකච්ඡාවකින් අනතුරුව සිදුකෙරිණි.