2021 ජනවාරි මාසයේ දී උද්ධමනය සියයට 3.0 දක්වා පහළට

    February, 1, 2021

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේ ය. 2020 ජනවාරි මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 9.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 6.8 දක්වා පහළ ගියේ ය. එ මෙන් ම, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 2.0හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 1.4 දක්වා පහළ ගියේ ය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.6හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 4.3 දක්වා පහළ ගියේ ය.

    2021 ජනවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.51ක් ලෙස වාර්තා විය. ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තව ද, 2021 ජනවාරි මාසයේ දී ආහාර සහ ආහාර නො වන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 0.29ක් සහ සියයට 0.22ක් ලෙස වාර්තා විය. ඒ අනුව, 2021 ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩයෙහි රතු ළූණු, පොල් සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගියේ ය. එසේ වුව ද, මාසය තුළ දී ලොකු ළූණු මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය. මේ අතර, ප්‍රධාන වශයෙන් ම සෞඛ්‍යය (පෞද්ගලික රෝහල් ගාස්තු) උපකාණ්ඩයේ දක්නට ලැබුණු මිල ගණන් ඉහළ යෑම හේතුවෙන්, ආහාර නො වන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 ජනවාරි මාසයේ දී දක්නට ලැබුණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2020 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 3.5හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 2.7 දක්වා පහළ ගියේ ය. එසේ වුව ද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 ජනවාරි මාසයේ දී ද සියයට 3.1හි නො වෙනස් ව පැවතුණි.