2023- ජාත්‍යන්තර සංඥා භාෂා දිනයට සමගාමීව සැමට සමාන අවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා NDB බැංකුව සහය පළ කරයි

    October, 26, 2023

    2023- ජාත්‍යන්තර සංඥා භාෂා දිනය නිමිත්තෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේ දී සැමරුම් උත්සවයක් පවත්වන ලද අතර, බිහිරි දරුවන්, බිහිරි සංවිධාන වලට අයත් නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, අනුග්‍රාහකයින්, සුභ පතන්නන් සහ අමුත්තන් ඇතුළු 250 කට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වූහ. සමාජ සේවා දෙපාර්තමේන්තුව යනු, මෙරට බිහිරි ප්‍රජාවට සංඥා භාෂා පරිවර්ථන සේවා සපයන ප්‍රධාන රාජ්‍ය ආයතනය යි.

    මෙහිදී සංඥා භාෂා පරිවර්තකයන් සඳහා වන ‘ආචාර ධර්ම සංග්‍රහය’ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර එළිදක්වන ලදී. එසේම, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සමාජ සේවා දෙපාර්තමේන්තුව බිහිරි දරුවන් සහ වැඩිහිටියන් සඳහා සමස්ත ලංකා ‘සංඥා භාෂා කථික තරඟයක්’ ද පැවැත්වී ය.

    NDB බැංකුව සිය ආයතනික තිරසාර ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස, මෙම ‘ආචාර ධර්ම සංග්‍රහය’ ප්‍රකාශයට පත් කිරීම සහ ‘සංඥා භාෂා කථික තරඟයේ’ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම සඳහා අනුග්‍රහය දැක්වී ය. පාසල් හා විවෘත කාණ්ඩ නියෝජනය කළ  ජයග්‍රාහකයින් විසින් 'අපගේ පරිසරය සුරැකීම' සහ 'සංඥා භාෂාවේ වැදගත්කම' යන මාතෘකා ඔස්සේ සිය අදහස් ඉදිරිපත් කරනු ලැබීය.

    මෙහිදී අදහස් පළ කළ NDB හි ආයතනික තිරසාර කමිටුවේ සභාපති මෙලඩි වික්‍රමනායක මහත්මිය, සංඥා භාෂා පරිවර්තකයින්ට තම හැකියාවන් සහ අනන්‍යතාව පවත්වාගැනීමෙහිලා  වෘත්තීයභාවය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීම සහතික කිරීමට මෙම ‘ආචාර ධර්ම සංග්‍රහය’ අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් වන බව සඳහන් කළා ය.

    NDB බැංකුව වෙත සිය අදහස් පළ කළ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සංඥා භාෂා පරිවර්තක දිනේෂ් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකාව තුළ බිහිරි පුද්ගලයන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයන් වෙසෙන බවත්, බිහිරි පාසල් 25 ක් පවතින බවත් සඳහන් කළ අතර, එනමුදු මෙතෙක් සංඥා භාෂා පරිවර්තකයන්ගේ භාවිතය සඳහා නීතිමය ලියවිල්ලක් තොතිබුණු බව සඳහන් කළේ ය. එබැවින් මෙම ‘ආචාර ධර්ම සංග්‍රහය’ ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාවේ වෙසෙන බිහිරි ප්‍රජාව හා සංඥා භාෂා පරිවර්තකයින් ලද දැවැන්ත ජයග්‍රහණයකි. ගුණාත්මක සේවාවක් ලබා දීමේ අරමුණින්, ජාතික අධ්‍යාපන ආයතනය, සංඥා භාෂා පරිවර්තකයින්, බිහිරි ප්‍රජාව සහ ගුරුවරුන් ඇතුළු විවිධ පාර්ශ්වවල දායකත්වය ද සහිතව උපදේශකත්වයෙන් මෙම 'ආචාර ධර්ම සංග්‍රහය' සකස් කරන ලදී. එයට ජාත්‍යන්තර භාවිතයන් ද අධ්‍යයනය කර එම අත්දැකීම් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත.

    සංඥා භාෂා පරිවර්තකයන් මෙම ආචාර ධර්ම සංග්‍රහයට අවනත විය යුතු අතර වෘත්තීය භාවිතය සඳහා වන මාර්ගෝපදේශ ද අනුගමනය කළ යුතු ය. වෘත්තීය භාවිතය, වගවීම, රහස්‍යභාවය, ගෞරවයෙන් යුතුව සේවය සැපයීම, යුක්ති සහගත බව, අවංකභාවය, වෙනස්කොට නොසැළකීම යන ගුණාංග යනාදිය මෙම ආචාර ධර්ම සංග්‍රහයේ මූලික වටිනාකම්වලට ඇතුළත් වේ.

    බිහිරි ප්‍රජාවගේ අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීම සඳහා සංඥා භාෂාව සතු වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා 2023- ජාත්‍යන්තර සංඥා භාෂා දිනය ලොව පුරා සමරනු ලැබේ. 2023- ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ තේමාව වන්නේ "බිහිරි පුද්ගලයන් සැමටම ඕනෑම තැනක දී සංඥා භාෂාව භාවිතා කිරීමට හැකි වන ලෝකයක්!" (A World Where Deaf People Everywhere Can Sign Anywhere!) යන්න යි.

    සංඥා භාෂාව යනු, ව්‍යාකරණ සහ වචනවලින් සුසැදි දෘශ්‍ය භාෂාවකි. එය මිනිසුන්ට තම සිතුවිලි, හැඟීම් සහ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ සලසයි. පහසුවෙන් සන්නිවේදනය කිරීමට වෙනත් ක්‍රම නොමැති බිහිරි ප්‍රජාවේ පුද්ගලයන් සඳහා සංඥා භාෂාව ඉතා වැදගත් වේ.

    වගකිවයුතු ආයතනයක් ලෙස NDB බැංකුව, ශ්‍රී ලංකාවේ සැමට සමාන අවස්ථාවක්   නිර්මාණය කිරීම සඳහා කටයුතු කරන අතරතුර විවිධ හැකියා සහිත පුද්ගලයින්ට අඛණ්ඩ සහයෝගය ලබා දීමටත්, ඔවුන්ව සවිබලගැන්වීමටත් කටයුතු කරයි.

    NDB බැංකුව ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම වාණිජ්‍ය බැංකුව ලෙස ලැයිස්තුගතව ඇත. 2023 ආසියානු බැංකුකරණ සහ මූල්‍ය සම්මාන උළෙලේ දී වසරේ හොඳම බැංකුව ලෙස NDB බැංකුව මෑතකදී නම් කෙරිණි. එමෙන්ම, ඒෂියා මනී විසින් NDB බැංකුව 2023 වසරේ හොඳම බැංකු සමාගම ලෙස නම් කරන ලදී. තවද, ශ්‍රී ලාංකික ප්‍රකාශනයක් වන වාර්ෂික LMD ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වර්ෂයේ දී වැඩිම සම්මානයට පාත්‍ර වූ සමාගම ලෙස ජයග්‍රාහී දෙවැනි වසර NDB බැංකුව විසින් සනිටුහන් කරන ලදී. 2022 වසරේ දී ග්ලෝබල් ෆයිනෑන්ස් USA (Global Finance USA) සහ යූරෝමනී (Euromoney) විසින් පවත්වන ලද හොඳම බැංකුවලට අදාළ සම්මාන පිරිනැමීමේ වැඩසටහන් අනුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලදී. මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ Great Place Work ආයතනය ‘2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50’ අතරින් එකක් වශයෙන් ද NDB බැංකුව නම් කළේ ය. NDB බැංකුව ප්‍රාග්ධන වෙළඳපොළට අනුබද්ධ සමාගම්වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගමට අයත් වන වන අතර, එමඟින් අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් නිර්මාණය වී ඇත. ඩිජිටල් බැංකු සේවා හරහා බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සේවා සහ උපදේශන සේවා හරහා සමස්ත දිවයින සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව කැපවී සිටියි.