2024 දී ආර්ථිකය 3%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා – මහ බැංකුව

    April, 29, 2024

    කාර්තු හයක් මුළුල්ලේ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සංකෝචන වාර්තා කිරීමෙන් අනතුරුව, ආර්ථිකය 2023 වසරේ දෙවන භාගයේ දී ධනාත්මක කාර්යසාධනයක් වාර්තා කළ අතර, ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වීම ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ අඩු උද්ධමනකාරී පරිසරයේ ප්‍රතිලාභ අඛණ්ඩව ආර්ථිකය වෙත ගලා යෑම හේතුවෙන් 2024 වසර තුළ දී ආර්ථිකය සියයට 3කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    අපේක්ෂිත මට්ටමට වඩා වේගවත්ව සංචාරක අංශය යථා තත්ත්වයට පත්වීම මගින්, අනෙකුත් ආශ්‍රිත අංශ වෙත ද ධනාත්මක බලපෑම් ඇති කරමින්, නුදුරු කාලීන වර්ධන ප්‍රවණතාව සඳහා සහාය සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආනයන සීමා ඉවත් කිරීම, ණය පිරිවැය සහ අමු ද්‍රව්‍ය මිල අඩු වීම වැනි මෑත කාලීනව දක්නට ලැබුණු ධනාත්මක වර්ධනයන් හේතුවෙන් කර්මාන්ත අංශය ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉහත සඳහන් කළ ප්‍රවණතා සහ පසුගිය කාලයේ දී ඉදිකිරීම් නවතා දැමූ රජයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම මධ්‍යයේ, ඉදි කිරීම් අංශයේ යථා තත්ත්වයට පත්වීමක් එම අංශයේ ඉදිරි ආර්ථික දර්ශක මගින් පෙන්නුම් කෙරේ. කෘෂි අංශයේ වැඩි දියුණු වූ කාර්යසාධනය පෙන්නුම් කරමින්, මෑතක දී අවසන් වුණු 2023/24 මහ කන්නය තුළ දී ප්‍රධාන බෝග ක්ෂේත්‍ර ධනාත්මක ඵලදාවක් වාර්තා කර ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, දැනට පවතින දත්ත අනුව අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් බලපෑමක් ඇති නොවන්නේ නම් මෙම ධනාත්මක ප්‍රවණතාව වසරේ ඉතිරි කාලපරිච්ඡේදය තුළ දී අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල සැලකියයුතු මට්ටමේ ඉහළ යෑම සමාහාර ඉල්ලු‍ම වර්ධනය සඳහා සහාය සපයනු ඇත. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ රාජ්‍ය මූල්‍ය අවකාශයෙහි අපේක්ෂිත වැඩි දියුණු වීම මගින් නුදුරු කාලීන වර්ධන ගමන් මග සඳහා සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වැටුප්වල අපේක්ෂිත ක්‍රමික ගැළපුම් මගින් ද ඉල්ලු‍ම් වර්ධනය සඳහා උපකාරයක් සැලසෙනු ඇත. සාර්ව ආර්ථික ස්ථායීතාවය නැවත තහවුරු වී ඇති බව පෙනී ගිය ද, අපේක්ෂිත මැතිවරණ මධ්‍යයේ 2024 වසර තුළ ආර්ථිකයේ වර්ධනය සඳහා ප්‍රතිපත්තිවල නිශ්චිතතාව සහ අඛණ්ඩතාව ඉතා වැදගත් වේ. දේශීය සේවාවන් සඳහා, විශේෂයෙන් ම සංචාරක අංශය තුළින් වන විදේශ ඉල්ලු‍ම අඛණ්ඩව ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂිත අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කාරී රටවල ඉහළ ගිය වර්ධන අපේක්ෂා මධ්‍යයේ අපනයන ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාවට නංවමින් පවතින ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලැබීම ආරම්භ වීමත් සමඟ මැදි කාලීනව අපනයන සඳහා නව ඉල්ලු‍මක් නිර්මාණය වනු ඇත. ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑම, නිසි කලට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම, සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යෑම සඳහා වන රජයේ කැපවීම මත ආර්ථිකයේ කෙටි කාලීන සහ මැදි කාලීන වර්ධන ප්‍රවණතාව රඳා පවතී. විශේෂයෙන් ම රාජ්‍ය ව්‍යාපාර ව්‍යවසායයන්ට අදාළ ප්‍රතිසංස්කරණ ඇතුළු මෙම ප්‍රතිසංස්කරණ හරහා එම අංශය වෙත දැනට යොදවා ඇති සම්පත් මුදා ගෙන එම සම්පත් ඵලදායී අංශ වෙත යොමු කිරීම තුළින් දිගු කාලයක් මුළුල්ලේ අවශ්‍යතාවක්ව පැවති ඵලදායීතාව ඉහළ නැංවීම මෙන්ම ආර්ථිකයේ විභවතාව තවදුරටත් ශක්තිමත් වීම සඳහා සහාය ලබාදිය හැක. කෙසේවෙතත්, ජනගහනය වයස්ගතවීමේ අහිතකර බලපෑම් මධ්‍යයේ, විශේෂයෙන් ම ඉහළ නිපුණතා සහිත වෘත්තිකයින් ඇතුළු මානව ප්‍රාග්ධනය රටෙන් ඉවතට ගලා යෑම, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සඳහා පවතින ප්‍රධාන අවදානමක් වේ. ශීඝ්‍රයෙන් මතුවන දේශගුණික විපර්යාසවල බලපෑම් මගින්, කෘෂිකර්මාන්තය පමණක් නොව විදුලිය උත්පාදනය, ඉදිකිරීම් සහ සංචාරක අංශය වැනි අංශ වෙත නිරන්තරයෙන් ඇති කෙරෙන සැපයුම් කම්පන හරහා කෙටි කාලීන සිට මැදි කාලීන වර්ධනය සඳහා අපේක්ෂා කරන මට්ටමට වඩා ඉහළ බලපෑමක් ඇති කරනු ඇත. ආර්ථිකයේ විභවතාවය වෙත ළඟා වීමේ දී දුර්වල ආර්ථික විවිධාංගීකරණය තවදුරටත් බාධකයක් වන අතර, විශේෂයෙන් ම ශීඝ්‍රයෙන් වෙනස්වන ගෝලීය පරිසර තත්ත්වයන් සැලකීමේ දී එය ආර්ථික අවදානම් නිර්මාණය කරන ප්‍රභවයක්ව පවතී. තවද, සියලු‍ම ප්‍රධාන ආර්ථික අංශ ආවරණය වන පරිදි ආර්ථිකයේ සමස්ත ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වන ඉලක්කගත ක්‍රියාමාර්ග ද මෙම සුවිශේෂී අවස්ථාවේ දී ඉතා වැදගත් වේ. සූක්ෂම ආර්ථිකය පිළිබඳව සැලකීමේ දී, කෙටි කාලීනව කම්පන සඳහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නැංවීමට මෙන්ම, ආර්ථික බලගැන්වීම තුළින් පුද්ගලයින්ට ඉදිරි කාලයේ දී ආර්ථික ඉඩ ප්‍රස්ථා නිර්මාණය කර දීම සහ තිරසාර සංවර්ධනයක් ඇති කරලීම සඳහා, සමාජ ආරක්ෂණ ජාලවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ ඒ සඳහා ප්‍රමාණවත් පරිදි මූල්‍ය ප්‍රතිපාදන සැපයීම හරහා එම ජාල ශක්තිමත් කිරීමට දැනට සිදුකර ඇති මුලපිරීම් කඩිනම් කිරීම අවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය තිරසාරත්වය සඳහා රජයේ වියදම් තාර්කිකකරණය කිරීම වැදගත් වන අතර, දිගු කාලීන ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගැනීමේ අරමුණින් යුතුව සෞඛ්‍ය සහ අධ්‍යාපනය සැමට සමානව ලබාදීම සහතික කිරීම සඳහා එවැනි අංශ වෙත කෙරෙන රාජ්‍ය වියදම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම කළ යුතු වේ. තවද, පාලන දුර්වලතා සහ දුෂණ අවදානම් පිළිබඳ ගැටලු‍ විසඳාලීම සඳහා හඳුනාගත් ක්‍රියාමාර්ග නිසි කලට ක්‍රියාවට නැංවීම, ආර්ථිකයේ මෙන්ම එහි ජනතාවගේ ප්‍රගමනය සඳහා සාර්ව ආර්ථික වශයෙන් තීරණාත්මක වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ ‘වාර්ෂික ආර්ථික විවරණය 2023‘ හි මේ බව සඳහන් වේ.