41 වැනි වාර්ෂික මහා සභාවේදී ශ්‍රී ලංකාවේ බහාලුම් ප්‍රවාහන කර්මාන්තයේ ඉදිරි ගමන වෙනුවෙන් ACT යළි කැප වෙයි

    July, 16, 2026

    ශ්‍රී ලංකාවේ බහාලුම් ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමුඛතම නියෝජිත ආයතනය වන Association of Container Transporters (ACT) සිය 41 වැනි වාර්ෂික මහා සභා රැස්වීම හා සාමාජික සුහද හමුව ජූනි 26 කොළඹ නෙළුම් කුළුණේදී සාර්ථකව පවත්වමින් රටේ ප්‍රවාහන, වරාය හා සැපැයුම් දාම ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් වූ සිය කැපවීම යළි තහවුරු කළේය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස වරාය, ගුවන් සේවා හා බල ශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සහභාගී වූ අතර නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් විය. එමෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, වරාය හා නාවික ක්ෂේත්‍රයේ ප්‍රධානීහු, සැපයුම් දාම සහ ලොජිස්ටික්ස් අංශයේ නියෝජිතයයෝ සහ ACT සාමාජික ආයතන රැසක් මෙම උත්සවයට සහභාගී වූහ. දශක හතරකට අධික ඉතිහාසයක් හිමි Association of Container Transporters ශ්‍රී ලංකාවේ බහාලුම් ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන පුරෝගාමී සංගමය ලෙස රටේ ආනයන හා අපනයන වෙළෙඳාමට අඛණ්ඩ දායකත්වයක් සපයයි. එහි සාමාජිකත්වය දරන්නේ රටේ ප්‍රමුඛ පෙළේ බහාලුම් ප්‍රවාහන සමාගම් වන අතර වරාය මෙහෙයුම් කාර්යක්ෂමව පවත්වා ගෙන යාම, බහාලුම් කඩිනමින් ප්‍රවාහනය කිරීම හා සැපැයුම් දාමයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමට ඔවුන් ඉටු කරන කාර්යභාරය ජාතික ආර්ථිකයට අත්‍යවශ්‍ය වේ.

    වාර්ෂික මහා සභාවේදී 2025 වසරේ සංගමයේ කාර්යසාධනය සමාලෝචනය කළ අතර බහාලුම් ප්‍රවාහන කර්මාන්තය මුහුණ දෙන අභියෝග, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාව වර්ධනය කිරීම හා ක්ෂේත්‍රයේ තරගකාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්විණි. ශ්‍රී ලංකාව කළාපීය සමුද්‍රීය හා ලොජිස්ටික්ස් මධ්‍යස්ථානයක් ලෙස තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා කාර්යක්ෂම හා විශ්වාසනීය බහාලුම් ප්‍රවාහන පද්ධතියක වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. Association of Container Transporters වරාය ආශ්‍රිත මෙහෙයුම් ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් යෝජනා කිරීම, ප්‍රතිපත්ති සංවර්ධනයට දායක වීම සහ සේවා ප්‍රමිති ඉහළ නැංවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන හා කර්මාන්ත පාර්ශ්ව සමඟ සමීපව කටයුතු කිරීම ආදිය සිදු කරයි. ඉදිරියටත් සිය සාමාජිකයන්ගේ අයිතිවාසිකම් හා ව්‍යාපාර අවශ්‍යතා ආරක්ෂා කරමින්, නව වෘත්තීය සංවර්ධන වැඩසටහන්, සාමාජික ප්‍රතිලාභ හා වටිනාකම් එක් කරන සේවා හඳුන්වා දීමට Association of Container Transporters සැළැසුම් කර ඇත. රාජ්‍ය හා පෞද්ගලික අංශය සමග පවතින ශක්තිමත් සහයෝගීතාව තව දුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ වාණිජ, ප්‍රවාහන හා ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයට සක්‍රීය දායකත්වයක් සැපැයීම සංගමයේ අරමුණ වේ. ACT 41 වැනි වාර්ෂික මහා සභාවට හා සාමාජික සුහද හමුවට සහභාගී වූ අනුර කරුණාතිලක අමාත්‍යවරයා, රුවන් කොඩිතුවක්කු නියෝජ්‍ය අමාත්‍යවරයා, ACT සභාපති චන්නක ද අල්විස්, වාණිජ නැව්ගත කිරීම් අධ්‍යක්ෂ අසංග දේශප්‍රිය, SLPA ආරක්ෂක අධ්‍යක්ෂ ඩිල්ෂාන් වාසගේ, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සංගමයේ නිලධාරී මණ්ඩලය ජායාරූපයේ වෙති.