February, 13, 2026
කොළඹ ඉහළ වානිජ වටිනාකමක් ඇති ග්‍රෑන්ඩ් හයට් ගොඩනැගිල්ල අයත් Sinolank සමාගමේ මව් සමාගම වන කැන්විල් හෝල්ඩිංග්ස් සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා රජය විසින් පසුගිය දා අභිලාෂ කැඳවනු ලැබීය.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර සිටියේ අදාළ අභිලාෂ ප්‍රකාශ කිරීමේ කාලය 2026 පෙබරවාරි 16 වන සඳුදා, ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පස්වරු 2 ට (පැය 14:00) අවසන් වන බවයි.
කෙසේවෙතත් මේ සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීමට දී තිබූ කාලය 2026 මාර්තු 16 දින ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පස්වරු 2 (පැය 14:00) දක්වා දීර්ඝ කළ බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
Sinolank යනු කොළඹ ඉහළ වානිජ වටිනාකමක් ඇති ග්‍රෑන්ඩ් හයට් ගොඩනැගිල්ල අයත් සමාගමයි. ග්‍රෑන්ඩ් හයට් යනු ජාත්‍යන්තර තරු 5 ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ ඉහළම මට්ටමේ සුවිශේෂී ආගන්තුක සත්කාර දේපළකි. දේපළෙහි උපරි ව්‍යුහය (superstructure) මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අවසන් කර ඇති අතර ඉතිරි කටයුතු සඳහා ආයෝකයෙකු බලාපොරොත්තු වේ.
ඉන්දියානු සාගරයට මුහුණ ලා ඇති මෙම දේපළෙහි කාමර 458 කින් සහ අමතර සේවා සපයන ලද මහල් නිවාස 100 කින් සමන්විත ආකර්ෂණීය මහල් 47 ක ව්‍යුහයක් ඇති අතර, ඒ සියල්ල සාගරයට මුහුණලා පිහිටි ප්‍රමුඛ දේපළ වෙළඳාම් අක්කර 2.32 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇත.
සේවක අර්ථසාධක අරමුදල ද කැන්විල් හෝල්ඩිංග්ස් හි ප්‍රධාන ආයෝජකයෙකු වන අතර අරමුදල රු. බිලියන 5ක් (පොත් අගය) මේ වන විට එහි ආයෝජනය කර තිබේ.
මේ සඳහා උනන්දුව දක්වන පාර්ශවයන් හට https://www.treasury.gov.lk/web/restructuring-canwillඔස්සේ වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධ විය හැකිය.
Video Story