April, 20, 2026
ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යෑමේ බලපෑම ප්‍රධාන වශයෙන් හේතු වෙමින් 2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.6%ක් දක්වා මන්දගාමී වනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කරයි. මෙලෙස 2026 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3.6%ක් දක්වා මන්දගාමී වනුයේ 2025 වසරේ දී 5%ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබූ පසුබිමකය.
කෙසේවෙතත් ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටම වූ 2018 වසරේ තිබුණු ප්‍රමාණයට මෙම වසරේ දී ළඟා වනු ඇති බවට ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ. දකුණු ආසියානු කලාපයේ ආර්ථික යාවත්කාලීන කිරීම් ප්‍රකාශයට පත් කරමින් 2026 අප්‍රේල් වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
මේ අතර ලෝක බැංකුව වැඩිදුරටත් පුරෝකථනය කරනුයේ 2027 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3.6%ක් දක්වා ඉහළ යනු ඇති බවයි.
තවද ඉල්ලුම ශක්තිමත් වීමත් සහ ඉහළ යන බලශක්ති මිල ගණන් හේතුවෙන් 2026 දී උද්ධමනය 5% ඉලක්කයට වඩා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.
අදාළ වාර්තාවට අනුව 2025 වර්ෂයේ දී දකුණු ආසියානු කලාපයේ වර්ධනය 7% ක් ලෙසින් ඇස්තමේන්තු කර ඇති අතර එය 2026 වසරේ දී 6.3% ක් හා 2027 වසරේ දී 6.9% ක් ලෙසින් පුරෝකථනය කර ඇත.
දකුණු ආසියානු කලාපයේ පිබිදීමට ඉහළම දායකත්වය ලබා දෙනු ලබන ඉන්දියාවේ වර්ධනය 2025 වසරේ දී 7.1% සිට 2026 වසරේ දී 7.6%ක් දක්වා ඉහළ යනු ඇති බව ද මෙම නවතම වාර්තාව පුරෝකථනය කරයි.
Video Story