සෙලින්කෝ ලයිෆ් කළුතර ශික්ෂණ රෝහලට ඖෂධීය වායු බෙදාහරින නල පද්ධතියක් පරිත්‍යාග කරයි

    May, 15, 2026

    ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය උදෙසා වන සෙලින්කෝ ලයිෆ් හි දිගුකාලීන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් සමාගම කළුතර ශික්ෂණ රෝහලට පුළුල් වූ මධ්‍යගත ඖෂධීය වායු බෙදාහැරීමේ නල මාර්ග පද්ධතියක් (Centralised Medical Gas Pipeline System - MGPS) පරිත්‍යාග කර ඇත. මෙමගින් රෝගීන්ගේ ආරක්ෂාව, ශල්‍යකර්ම ධාරිතාවය, සහ රෝහලේ යටිතල පහසුකම්වල සැලකිය යුතු දියණුවක් ඇති කරනු ඇත.

    රුපියල් මිලියන 19ක වියදමකින් නිමකරන ලද මෙම ව්‍යාපෘතියට රෝහලේ ඔක්සිජන් සාන්ද්‍රකය අලුත්වැඩියා කිරීම සහ එය වායු නල පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම ඇතුලත් විය. රජයේ සෞඛ්‍ය සේවා ආයතන ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන සෙලින්කෝ ලයිෆ් ආයතනික සමාජයීය වගකීම් (CSR) වැඩසටහනේ කොටසක් ලෙස දියත් වූ මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා විසින් සම්පූර්ණයෙන් ම අරමුදල් සපයන ලදී.

    රෝහලේ පෙර තිබූ වායු සිලින්ඩර හරහා සිදුකළ වායු සැපයුම වෙනුවට MGPS පද්ධතිය හරහා විශ්වාසයෙන් යුතුව අත්‍යවශ්‍ය සායනික අංශ හා ස්ථාන වලට අඛණ්ඩව ඖෂධීය වායූන් කාර්යක්ෂම ලෙස බෙදා හැරීම සිදු කරයි. රෝගීන්ගේ ශ්වසනය, ප්‍රසූති නිර්වින්දන සහ අලුත උපන් බිළිඳුන්ගේ සත්කාර ඒකකය සඳහා බාර් 4ක පීඩන මට්ටමේ නල මාර්ගය; විදුම් කටු, අස්ථි කියත්, ශල්‍යමය පෙන්ඩන්ට් වැනි වායුමය ශල්‍ය උපකරණ බල ගැන්වීම සඳහා අවශ්‍ය බාර් 7ක පීඩන මට්ටමේ නල මාර්ගය; නිර්වින්දනය හා සන්සුන් කිරීම සඳහා අවශ්‍ය නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) නල මාර්ගය; සහ අඛණ්ඩ සායනික භාවිතය සඳහා මධ්‍යගත නල මාර්ගයක් හරහා ඔක්සිජන් ලබා දීමේ මාර්ගය, ආදී වශයෙන් වූ වෙන්කළ නල මාර්ග හතරකින් මෙම පද්ධතිය සමන්විත වේ.

    මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ රෝහලේ ඔක්සිජන් සාන්ද්‍රකය මෙම නල මාර්ග ජාලයට ඒකාබද්ධ කිරීමයි. සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට මෙන් ම සියයට 95 ක් දක්වා සංශුද්ධතාවයකින් වෛද්‍යමය ශ්‍රේණියේ ඔක්සිජන් ලබා දීමට එමගින් හැකියාව ලැබේ. දිගු කලක් භාවිතා නොකළ ඔක්සිජන් සාන්ද්‍රකය අලුත්වැඩියා කිරීම, වාර්ෂික නඩත්තු කට්ටලයක් එකතු කිරීම සහ රෝහලේ ඖෂධීය වායු බෙදාහැරීමේ නල මාර්ග ජාලය සඳහා ස්වයංක්‍රීය මාරු කිරීමේ පැනලයක් ස්ථාපනය කිරීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් විය.

    වර්තමානයේ දී මෙම පද්ධතිය මගින් 03, 16 සහ 10 වාට්ටුවලට මෙන් ම C සහ D ශල්‍යාගාරවලට අඛණ්ඩව ඖෂධීය වායු සැපයීම සහතික කරන අතර, එමඟින් දිනකට නේවාසික රෝගී ඇඳන් 60ක්, ශල්‍යාගාර ඇඳන් පහක් සහ ආසන්න වශයෙන් ශල්‍යකර්ම 40ක් සඳහා වායු සැපයුම ලබා දෙයි.

    මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එස්. එම්. පී. කරුණාරත්න මහත්මිය මෙම නව නල මාර්ග පද්ධතිය, රෝහලේ සායනික යටිතල පහසුකම් සඳහා පරිවර්තනීය දියුණුවක් ළඟාකර දෙන බව පැවසුවාය. ස්ථාවර හා මධ්‍යගතව කළමනාකරණය කරන ලද ඖෂධීය වායු සැපයුමක් තිබීම විශේෂයෙන් ම, තීරණාත්මක ශල්‍යකර්ම හා සත්කාර ලබාදීමේ දී රෝගීන්ගේ අවශ්‍යතාවලට කඩිනමින් සහ ආරක්ෂිතව ප්‍රතිචාර දැක්වීමට රෝහල සතු හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නංවන බවත්, රෝහලට මසකට රු.75,000 ක පමණ මුදලක් ඉතිරි කර දෙන බවත් ඇය තවදුරටත් සඳහන් කළාය.

    සෙලින්කෝ ලයිෆ් විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා මෙම ව්‍යාපෘතිය පිටුපස ඇති පුළුල් වූ අරමුණ පිළිබඳව සඳහන් කරමින් මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවා පද්ධතියක් බව සෙලින්කෝ ලයිෆ් අපි විශ්වාස කරනවා ඒ අප සතුව දියුණු උපකරණ ඇති නිසා නොව, සෑම පුරවැසියෙකුට ම හොඳම ප්‍රතිකාර නොමිලේ ලබාගැනීමේ හැකියාව ඇති බැවිනි. කෙසේ නමුත්, සම්පත් ප්‍රමාණය සීමිත බැවින් මෙම පද්ධතිය විවිධ වූ අභියෝගවලට මුහුණ දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස දිගු පොරොත්තු ලේඛන බහුලව දක්නට ලැබෙන අතර, රෝගීන් බොහෝ විට පෞද්ගලික අංශයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්නේ එම නිසාවෙනි.”

    2025 දී අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සහ 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙසත් පිළිගැනීමට ලක් වූ සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් මෙරට සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය ලෙසද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී.

    පසුගිය වසර පහ තුළ සමාගම ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙස දෙවරක් තේරී පත් වූ අතර ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ වඩාත් ම අගය කරන ලද සමාගම් 10 අතරට ශ්‍රේණිගත කර ඇත.

     

    සේයාරු සටහන: සමාගම විසින් පරිත්‍යාග කරන ලද ඖෂධීය වායු බෙදාහැරීමේ නල මාර්ග පද්ධතිය රෝහල වෙත භාරදීමේ අවස්ථාවට එක් වූ සෙලින්කෝ ලයිෆ් හි විධායක අධ්‍යක්ෂකවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරිය හා නියෝජිතයින් සමඟ