2026 පළමු කාර්තුව අවසානයේ දී කොමර්ෂල් බැංකු සමූහයේ වත්කම් රුපියල් ට්‍රිලියන 3.5 ඉක්මවයි

    May, 18, 2026

    2026 වසරේ පළමු කාර්තුවේදී සන්ධිස්ථානාත්මක ජයග්‍රහණ රැසක් සමඟින් කොමර්ෂල් බැංකුව සහ එහි අනුඅබද්ධිත සමාගම් රුපියල් ට්‍රිලියන 3.5ක වත්කම් ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික අංශයේ බැංකු සමූහය බවට පත් විය.

    ණය කේන්ද්‍ර කරගත් 2025 වසරේ වාර්තාගත කාර්යසාධනය මත පදනම්ව, කොමර්ෂල් බැංකු සමූහය 2026 මාර්තු 31 වන දිනට රුපියල් ට්‍රිලියන 3.61 ක මුළු වත්කම් ප්‍රමාණයක් වාර්තා කර ඇති අතර එය වසරේ මුල් මාස තුන තුළදී අත්කරගත් 6.81%ක නැතහොත් රුපියල් බිලියන 230ක වර්ධනයකි. පසුගිය මාස 12 තුළ වත්කම් වර්ධනය රුපියල් බිලියන 610ක් නැතහොත් 20.34%ක වාර්ෂික වර්ධනයක් විය.

    මෙම වර්ධනය අදාල කාර්තුවේදී දළ ණය සහ අත්තිකාරම් මුදල් රුපියල් ට්‍රිලියන 2.16 දක්වා රුපියල් බිලියන 71.61 කින් ඉහළ යාමත්, තැන්පතු රුපියල් බිලියන 171.14 කින් 2026 මාර්තු 31 වන විට රුපියල් ට්‍රිලියන 2.87 ක් දක්වා වර්ධනය වීම මත පදනම් විය. මෙය ණය පොතේ 31.35% ක සහ තැන්පතු කළඹේ 19.04% ක වාර්ෂික වර්ධනයක් නියෝජනය කරයි.

    සමූහයේ කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුසීන් මහතා මෙසේ පැවසීය: “අපි 2026 වසර සඳහා සුපුරුදු ලෙස හොඳ සමබරතාවයකින් යුත් ශක්තිමත් ආරම්භයක් ලබාගෙන තිබෙනවා. 2025 දී ගොඩනැඟුණු ශක්තිමත් කාර්යසාධන හැකියාවන්ගෙන් විශාල පිටුවහලක් ලබමින්, ශේෂ පත්‍රයේ ශක්තිමත්භාවය සහ මනා අවදානම් කළමනාකරණය කෙරෙහි අපගේ පැහැදිලි අවධානය යොමු කිරීම තුළින් අප ලබාගත් එම ගම්‍යතාවය, නව වසර දක්වාත් බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවීම  දිරිගන්වන සුළුයි. ඉදිරි වසර තුළදී ද කොටස් හිමියන්ගේ වටිනාකම් ඉහළ නැංවීමට උපකාරී වන උපායමාර්ගික තීරණ මත අපි එලෙසටම ගොඩනගන්නෙමු.”

    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා සඳහන් කලේ, සමූහය ප්‍රතිපාදන ආවරණය 75% ඉක්මවමින් ශක්තිමත් වර්ධනයක් අත්කර ගත් බවත්, එමඟින් අස්ථාවර ගෝලීය ආර්ථිකයෙන් එල්ල වන අවදානම් සමඟ සමපාත වීමට හැකි ප්‍රතිපාදන මට්ටම් ශක්තිමත් ව පවතින බවත්, CASA අනුපාතය 40% ඉක්මවා බැංකු ක්‍ෂේත්‍රයේ මේ වන විට වාර්තා වන හොඳම අනුපාතය ලෙස පවතින බවයි. තිරසරභාවය, පාලනය, අනුකූලතාවය සහ ජාතික ආර්ථික ප්‍රමුඛතා කෙරෙහි අපගේ අවධානය ඉහළ නංවා ගනිමින්, සංවර්ධනය කරා යන ගමනේ දී, අපගේ සියලුම කොටස්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් නිසි ප්‍රමුඛතාවය ලබා දෙන බව සහතික කරන බව ද ඔහු තවදුරටත් පැවසීය.

    කාර්තුව සඳහා දළ ආදායම 12.47% කින් වර්ධනය වී රුපියල් බිලියන 99ක් වූ අතර පොලී ආදායම රුපියල් බිලියන 82.89 ක් දක්වා 14.17% කින් වර්ධනය වී ඇත. එයින් ද වැඩි ප්‍රමාණයක් ජනනය වී ඇත්තේ ණය ලබාදීම හරහා ය. පොලී අනුපාත සහ ගණුදෙණු පරිමාවේ වර්ධනය හේතුවෙන් පොලී වියදම් රුපියල් බිලියන 44.07 ක් දක්වා 14.82% කින් ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් සලකා බලන මාස තුන සඳහා ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 38.81 ක් විය. එය 13.44%ක වර්ධනයකි.

    මුළු මෙහෙයුම් ආදායම 9.25% කින් වර්ධනය වී රුපියල් බිලියන 50.84 ක් වූ අතර 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රු. බිලියන 7.15ට සාපේක්ෂව, සමූහයේ හානිපූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා වූ ප්‍රතිපාදන වෙන්කිරීම් රු. බිලියන 3.18ක් දක්වා අඩු විය. මෙම අඩු වීම එම කාර්තුවේදී බැංකුව සිදු කළ විචක්ෂණශීලී ප්‍රතිපාදන පිළිබිඹු කරයි. කෙසේ වෙතත්, දේශීය හා ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන්ට ගොදුරු විය හැකි අංශ හඳුනා ගැනීමේදී සමූහය ක්‍රියාශීලීව කටයුතු කරන අතර, විචක්ෂණශීලී කළමනාකරණ ආවරණ හරහා ප්‍රමාණවත් ප්‍රතිපාදන පවත්වා ගෙන යන බව ද සහතික කරයි.

    එහි ප්‍රතිඵලයක් ලෙස, සලකා බලන මාස තුන සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 47.66 ක් වූ අතර එය 21%ක වර්ධනයකි. සමූහයේ මෙහෙයුම් වියදම් 15.81% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 14.83 ක් වූ අතර, ඒ හේතුවෙන් මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 32.84 ක් දක්වා 23.51% කින් වර්ධනය විය.

    මූල්‍ය සේවා සඳහා වන බදු 29.12% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 5.20 ක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුන සඳහා සමූහයේ බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 27.63 ක් වූ අතර එය 22.51% ක වර්ධනයකි. ආදායම් බදු 27.84% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 9.70 ක් වූ අතර කාර්තුව සඳහා සමූහයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 17.94 ක් විය. එය 19.80% ක වර්ධනයක් පිළිබිඹු  කරයි.

    වෙනම ගත් විට, කොමර්ෂල් බැංකුව මෙම මාස තුන සඳහා රුපියල් බිලියන 26.64 ක බදු වලට පෙර ලාභයක් සහ රුපියල් බිලියන 17.17 ක බදු වලට පසු ලාභයක් වාර්තා කර ඇති අතර එය පිළිවෙලින් 21.76% ක හා 18.46% ක වාර්ෂික වර්ධනයන් විය.

    ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

    දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

     

    සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා