ශ්‍රී ලංකාව, නෝර්වේ රාජ්‍යයේ, යුනිසෙෆ් සහ එක්සත් ජාතීන්ගේ ස්වෙච්ඡා වැඩසටහනේ සහාය ඇතිව දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා ඩිජිටල් පද්ධති ආරම්භ කරයි

    May, 18, 2026

    ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (National Disaster Relief Services Centre - NDRSC), නෝර්වේ රාජ්‍යයේ මූල්‍ය ආධාර සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ්) සහ එක්සත් ජාතීන්ගේ ස්වෙච්ඡා වැඩසටහනේ සහයෝගය ඇතිව නිර්මාණය කළ, නවතම ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතිය සහ ප්‍රජා විමසීම් යාන්ත්‍රණය අද නිල වශයෙන් ආරම්භ කළේ ය.

    මෙය දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට පත් ප්‍රජාවන්ට කඩිනම්, වඩාත් විනිවිද සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ප්‍රජා සහාය සේවා ලබාදීමේ ප්‍රධාන ඉදිරි පියවරකි. මෙම ඩිජිටල් පද්ධති ආරම්භ කිරීම, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරුණි.

    රජයේ නිලධාරීන්ට සහ ආපදාවෙන් පීඩාවට පත්වූ පවුල්වලට පරිපාලනමය දුෂ්කරතා අවම කරමින් කටයුතු කිරීම සඳහා වන්දි කළමනාකරණ  පද්ධතිය නිර්මාණය කර ඇත. කාලය වැයවන, ශ්‍රාමායික(මැනුවල්) ක්‍රමවේද  වෙනුවට, වඩාත් ක්‍රමවත් ඩිජිටල් පද්ධතියක් මෙමඟින් සකස් කර ඇත. දිට්වා සුළි කුණාටුවෙන් දිවි බේරාගත් බොහෝදෙනාට ඔවුන්ගේ ආදරණීයයන්, නිවාස සහ ජීවනෝපාය අහිමි වූ පසුබිමක, මෙම පද්ධතිය නිසා ඔවුන්ට ඔවුන්ගේ හිමිකම් ලබාගැනීම සඳහා බොහෝ දුර ගමන් කිරීම හෝ රාජ්‍ය ආයතනවලට වරින් වර යෑම වළකාලයි. ඒ වෙනුවට ඔවුන්ට, තම වසමේ ග්‍රාම නිලධාරිවරයා හරහා මාර්ගගතව, අන්තර්ජාලය ඔස්සේ වන්දි ලබාගැනීමේ ඉල්ලීම් ඉදිරිපත් කළ හැක. එමඟින් මෙම ක්‍රියාවලියට ගත වන කාලය අඩු වන අතර ක්‍රියාවලිය වඩාත් සරල සහ කාර්යක්ෂම කරයි.

    එමෙන්ම, අද ආරම්භ කරන ලද, ප්‍රජා විමසීම් යාන්ත්‍රණය මඟින් දීමනා සහ වන්දි, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම් ඇතුළුව දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවල ආපදා සහන විමසීම් ක්‍රමානුකූලව කළමනාකරණය කිරීමට පහසුකම් සලසයි. මෙම විමසීම් යාන්ත්‍රණය ඔස්සේ ප්‍රජාවන්ට  ඔවුන්ගේ විමසීම්  ඍජුවම NDRSC වෙත ඉදිරිපත් කළ හැකි ය.  සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ක්‍රියාත්මක 071 6 807 807  ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් හෝ එම පද්ධතිය සඳහා පිවිසෙන QR කේතය හරහා විමසීම් ඉදිරිපත් කළ හැකි ය.

    මූලික සමාලෝචනයකින් පසුව, සෑම විමසීමක් ම, අවශ්‍ය පියවර ගැනීමට සහ පසු විපරම් සඳහා NDRSC හි අදාළ ජාතික හෝ ප්‍රාදේශීය මට්ටමේ  නිලධාරීන්  වෙත යොමු කෙරේ. සෑම විමසීමක්ම ඉදිරිපත් කිරීමේ දී, ඉදිරිපත් කරන්නාට අනන්‍ය වූ කේතයක්  ලබා දෙයි.  ප්‍රජා විමසුම් යාන්ත්රණයට අදාළ QR කේතය හෝ ක්ෂණික ඇමතුම් දුරකතන අංකය ඔස්සේ මෙම  අනන්‍ය වූ කේතය ඉදිරිපත් කර  ඔවුන්ගේ විමසීම්වල ප්‍රගතිය බලාගත හැකි ය.

    “අර්බුදයකදී, ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම ඉතාම වැදගත්. මේ ඩිජිටල් පද්ධතිවලින් ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමේ අපේ හැකියාව වැඩිදියුණු කරනවා වගේම, ප්‍රජාවන්ගේ  කඩිනම් අවශ්‍යතා සපුරන්න අවශ්‍ය නිශ්චිත මෙවලම් සපයා දෙනවා. ආපදාවෙන් පීඩාවට පත්වූ හැම පවුලකටම විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව  සහයෝගය ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් අපි නව මිණුමක් මේ තුළින් හඳුන්වා දී  තියෙනවා” යැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ (NDRSC)  ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, නාමල් ලියනගේ පැවැසීය.

    මෙම ප්‍රයත්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ප්‍රමුඛතා සැලසුම් (HPP) වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ. එමෙන්ම, රජයේ ජාතික ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සහ මහජන ප්‍රමුඛතා සේවාවල කාර්යක්ෂමතාව ඉහල නැංවීමට රුකුලක් වෙයි. මෙම පද්ධති ස්ථාපිත කිරීමට තාක්ෂණික සහාය ලබාදීමට අමතරව මෙරට යුනිසෙෆ් කාර්යාලය, මෙම ක්‍රියාවලිය හසුරුවන නිලධාරීන්ගේ ශක්‍යතා ගොඩනැංවීම සඳහා ද සහාය ලබා දුනි. ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවලට ජනතා-කේන්ද්‍රීය සහාය ලබාදීමේ අවශ්‍යතාව ද මෙහිදී යුනිසෙෆ් අවධාරණය කරයි.

    “ආපදාවට පත් ප්‍රජාවන්ට අවශ්‍ය වෙලාවට ඉක්මන් සහාය ලැබීම කියන්නේ වරප්‍රසාදයක් නෙමෙයි. ඒක සෑම පීඩාවට පත්වූ පවුලකම අයිතියක්. මෙම පද්ධතිවලින් ගෞරවය, ඉක්මන් සහාය, වගේම සාධාරණත්වය මේ පවුල්වලට ලැබෙනවා. ඒ නිසා දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විශ්වාසයෙන් නැවත ගොඩනැගෙන්න පුළුවන්. මේ පද්ධති තුළින් සිදුවන ඉක්මනින් තොරතුරු හුවමාරු කරගැනීම, ප්‍රජාවල අවශ්‍යතා තේරුම් ගැනීම සහ විමසීම් සම්බන්ධයෙන් පසු විපරම  හරහා බලපෑමට ලක් වූ පුද්ගලයන් වෙත  වගවීම තහවුරු වෙනවා. ඒ හරහා ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාමාර්ග ද  ශක්තිමත් වෙනවා” යැයි ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත එමා බ්‍රිගම් පැවැසුවා ය.

    “තාක්ෂණික විශේෂඥතාව ලබා දීමෙන් සහ ප්‍රජාවට ප්‍රවේශවීම සලසමින්, එක්සත් ජාතීන්ගේ ස්වෙච්ඡා වැඩසටහනේ ස්වෙච්ඡා නිලධාරීන් 34 දෙනා කළ කැපවීම මෙම පද්ධති යථාර්ථයක් බවට පත් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වුණා. මෙම පද්ධති නිර්මාණයට දායක වූ  සන්නිවේදන තාක්ෂණ විශේෂඥයන්ගේ සිට දිස්ත්‍රික්ක පුරා යමින් දත්ත එකතු කළ ප්‍රජා ස්වේච්ඡා නිලධාරීන්  දක්වා,  කටයුතු කළ සියලු දෙනා මෙම ඩිජිටල් පද්ධති මෙරට ප්‍රජාවට සහාය දෙන, අර්ථවත් සේවා බවට පත් කළා” යැයි එක්සත් ජාතීන්ගේ ස්වෙච්ඡා වැඩසටහනේ මෙරට නියෝජිත ශාමලී ජයසිංහ කීවා ය.

    NDRSC, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සහ මැතිවරණ කොමිසම සමඟ සහයෝගීත්වයෙන් මෙම පද්ධති සවිබල ගැන්වීමේ ප්‍රයත්න තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වේ. ආපදා සහන සේවා ඩිජිටල්කරණය කිරීම, රාජ්‍ය සේවා සැපයීම නව්‍යකරණය කිරීමේ ප්‍රධාන පියවරකි. එමෙන්ම, එම සේවාවන් බලපෑමට පත්වූ ජනතාවට වඩාත් හොඳින් ලැබෙන බව සහතික කිරීමට ද එය උපකාරී වේ. දිට්වා සුළි කුණාටුවෙන් පසු නැවත ගොඩනැගෙන පවුල්වලට  සෑම පැයක්ම වැදගත් වන මේ කාලයේ, මෙම පද්ධති ප්‍රජාවට ඉක්මන් සහයෝගය ලබා දෙමින් ඔවුන්ට වැඩි සුරක්ෂිතභාවයකින් සහ යහපත් බලාපොරොත්තුවකින් යුතුව ඉදිරියට යෑමට උපකාරී වනු ඇත.