May, 20, 2026
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික සහාය ඇතිව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව CROPIX බීජ නිෂ්පාදන, සහතික කිරීමේ සහ හඳුනා ගැනීමේ ඩිජිටල් පද්ධතිය (CROPIX Seed Production, Certification & Traceability System) දියත් කරන ලදි. ඩිජිටල් නවෝත්පාදන හරහා ශ්‍රී ලංකාවේ කෘෂි බීජ අංශය නවීකරණය කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
කෘෂි බීජ වටිනාකම් දාමය හරහා පාර්ශ්වකරුවන් අතර විනිවිදභාවය, කාර්යක්ෂමතාව, හඳුනා ගැනීමේ හැකියාව සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම මගින් මෙම නව පද්ධතිය බීජ නිෂ්පාදන හා සහතික කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරයි. මෙය වඩාත් පුළුල් ඩිජිටල් කෘෂිකර්ම වේදිකාවක් වන 'නිවැරදි තොරතුරු හුවමාරු පද්ධතිය හරහා බෝග සම්පත් මෙහෙයුම් ප්‍රශස්ත කිරීමේ යන අර්ථය දෙන ක්‍රොපික්ස් (CROPIX - CropResources, Optimizing operations, through Precise Information eXchange System) වේදිකාවෙහි කොටසක් ලෙස ක්‍රියාත්මක වේ. වඩාත් ඔරොත්තු දෙන, කාර්යක්ෂම සහ ගොවි කේන්ද්‍රීය කෘෂිකාර්මික අංශයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට ද එය සහාය වේ.
කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සහ ගොවීන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ගුණාත්මක බීජ අත්‍යවශ්‍ය වේ. එහෙත්, ශ්‍රී ලංකාවේ බීජ අංශය තවදුරටත් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටියි. බීජ නිෂ්පාදනය සහ සහතික කිරීමේ ක්‍රියාවලිවල ප්‍රමාදයන්, තත්ත්වය සහතික කළ බීජ ලබා ගැනීමේ සීමිත අවස්ථා, අක්‍රමවත් තොරතුරු පද්ධති මෙන්ම බීජ බෙදාහැරීමේ ජාල හරහා පවතින සීමිත හඳුනා ගැනීමේ හැකියාව ඒ අතර වේ. වෙනස් වන නිෂ්පාදන හා වෙළඳපොළ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ගොවීන්ට, රාජ්‍ය ආයතනවලට සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ට වඩාත් වේගවත්, විශ්වාසදායක සහ මනා සම්බන්ධතාවක් සහිත සේවාවන් අවශ්‍ය වන මෙවැනි වකවානුවක මෙම සීමාවන් මගහැරීමට කටයුතු කිරීම විශේෂයෙන් වැදගත් වේ.
අලුතින් දියත් කරන ලද CROPIX බීජ පද්ධතිය හරහා මෙම ගැටලු විසඳීමට ඒකාබද්ද ක්‍රමවේදයක් මගින් බීජ වගාකරුවන්, බීජ හසුරුවන්නන්, රසායනාගාර හා ක්ෂේත්‍ර නිලධාරින්, පරිපාලකවරුන් සහ අනෙකුත් කෘෂිකාර්මික තොරතුරු පද්ධති සම්බන්ධ කරනු ලැබේ. බීජ සම්බන්ධ විශ්වාසදායක තොරතුරු ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කරන අතරම, බීජ නිෂ්පාදන සහ සහතික කිරීමේ ක්‍රියාකාරකම් තත්කාලීනව නිරීක්ෂණය කිරීමට ද මෙම වේදිකාව මගින් ක්‍රියාත්මක කරයි. ප්‍රධාන කාර්යයන් ඩිජිටල්කරණය කිරීම මගින් මෙම පද්ධතිය එකම කාර්යය විවිධ අංශ විසින් සිදු කිරීම අඩු කරයි. එසේම, එය වඩාත් වේගවත් තහවුරු කිරීමේ සහ අනුමත කිරීමේ ක්‍රියාවලි සඳහා සහාය වන අතර, ක්ෂේත්‍ර ලියාපදිංචියේ සිට සහතික කිරීම, රසායනාගාර පරීක්ෂණ, බීජ සුලභතාවය සහ බෙදා හැරීම දක්වා වඩාත් ස්ථාවර තොරතුරු ප්‍රවාහයක් ද සපයයි.
තාක්ෂණික දෘෂ්ටිකෝණයකින් බලන කල, මධ්‍යගත දත්ත කළමනාකරණය, කාර්යභාරය මත පදනම් වූ පරිශීලක ප්‍රවේශය, වෙබ් මත පදනම් වූ කාර්ය ප්‍රවාහ සහ අන්තර්ක්‍රියාකාරීත්වයේ (Interoperability) විශේෂාංග ඒකාබද්ධ කරන ඩිජිටල් වේදිකාවක් ලෙස CROPIX බීජ පද්ධතිය සැලසුම් කර ඇත. API හරහා අදාළ කෘෂිකාර්මික දත්ත සමුදායන් සහ ඩිජිටල් සේවාවන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමට මෙම පද්ධතියට හැකියාව ඇත. ඒ හරහා වඩාත් සම්බන්ධිත ඩිජිටල් කෘෂිකාර්මික පද්ධතියක් නිර්මාණය කිරීමට සහාය වේ. එහි හඳුනා ගැනීමේ ක්‍රියාකාරකම් මගින් නිෂ්පාදන සහ සහතික කිරීමේ චක්‍රයේ තීරණාත්මක අවස්ථා හරහා බීජ කාණ්ඩ නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙයි. එසේම, ඩිජිටල් වාර්තා, ඩිජිටල් උපකරණ පුවරු සහ තත්කාලීනව වාර්තා කරන මෙවලම් මගින් සාක්ෂි මත පදනම් වූ සැලසුම්කරණය, අධීක්ෂණය සහ තීරණ ගැනීම ශක්තිමත් කෙරේ. පුළුල් ඩිජිටල් පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructure) මුලපිරීම් සමඟ ඒකාබද්ධ වීම, ජංගම දුරකථන හරහා ක්‍රියාත්මක වන ක්ෂේත්‍ර සේවා සහ විශ්ලේෂණ ඇතුළුව අනාගත පුළුල් කිරීම් සඳහා ද මෙම ව්‍යූහය මගින් පදනමක් සපයයි.
බීජ සහතික කිරීමේ සේවය (SCS) සහ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය (SPMDC) අතර වඩාත් යහපත් සම්බන්ධීකරණයක් සඳහා මෙම පද්ධතිය සහාය වේ. එසේම, එය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම (Digital Economy Blueprint) සමඟ ද තාක්ෂණික වශයෙන් සමපාත වේ.
මෙම දියත් කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල්කාන්ත මහතා මෙසේ පැවසීය: "ජාතික ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම, කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම සහ ගොවීන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බීජ අංශය නවීකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. බීජ වටිනාකම් දාමය හරහා ගොවීන්ට සහ සියලුම පාර්ශ්වකරුවන්ට වඩාත් හොඳින් සේවා සපයන කාර්යක්ෂම, විනිවිද පෙනෙන සහ තාක්ෂණයෙන් මෙහෙයවන කෘෂිකාර්මික අංශයක් ගොඩනැගීම සඳහා අප දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස CROPIX බීජ නිෂ්පාදන, සහතික කිරීමේ සහ හඳුනා ගැනීමේ පද්ධතිය දියත් කිරීම පෙන්වා දිය හැකිය."
මෙම මුලපිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන FAO නියෝජිතවරයා වන විම්ලේන්ද්‍ර ශරන් මහතා මෙසේ ප්‍රකාශ කළේය: "කෘෂි ආහාර පද්ධති පරිවර්තනය කිරීමේදී සහ ගොවීන්ට සේවා සැපයීම වැඩිදියුණු කිරීමේදී ඩිජිටල් නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට සිදුව තිබේ. බීජ පද්ධති ශක්තිමත් කරන, හඳුනා ගැනීමේ හැකියාව සහ විනිවිදභාවය වැඩි දියුණු කරන මෙන්ම ගුණාත්මක බීජ නියමිත කාලයට ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කරන ඩිජිටල් කෘෂිකර්ම විසඳුම් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට ලැබීම පිළිබඳව FAO ආයතනය සතුටට පත් වේ. වඩාත් ඔරොත්තු දෙන, කාර්යක්ෂම සහ තිරසර කෘෂි ආහාර පද්ධති ගොඩනැගීම කෙරෙහි ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි කැපවීම මෙම මුලපිරීම මගින් පෙන්නුම් කෙරේ."
ගුණාත්මක බීජ සහ තත්කාලීන තොරතුරු වෙත වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම හරහා CROPIX බීජ නිෂ්පාදන, සහතික කිරීමේ සහ හඳුනා ගැනීමේ පද්ධතිය මගින් ගොවීන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, දත්ත මත පදනම් වූ වඩාත් දැනුම්වත් තීරණ ගැනීම සඳහා රජයේ ආයතනවලට සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ට ද එයින් අවස්ථාව හිමි වේ. ඒ අතරම, බීජ නිෂ්පාදන සහ සහතික කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පුරාවටම විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට ද මෙම පද්ධතිය සහාය වේ.
මෙම මුලපිරීම මගින් ශ්‍රී ලංකාවේ පුළුල් ඩිජිටල් කෘෂිකාර්මික න්‍යාය පත්‍රයට දායකත්වයක් සපයයි. එසේම, ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සහ කෘෂිකාර්මික අන්තර්ක්‍රියාකාරීත්වයේ රාමු ශක්තිමත් කිරීම සඳහා වන ජාතික ප්‍රයත්න සමඟ ද එය සමපාත වේ.


Video Story