Hellmann සහ MAS සමූහය එක්ව ශ්‍රී ලංකාවේ නව විලාසිතා සැපයුම් කේන්ද්‍රස්ථානයක් ආරම්භ කරයි

    May, 21, 2026

    2018 වසරේදී Hellmann MAS Supply Chain නමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළ Hellmann Worldwide Logistics සහ MAS සමූහය, ශ්‍රී ලංකාවේ කිඹුලාපිටිය ප්‍රදේශයේ නවීන ගබඩා හා සැපයුම් පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.

    බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මෙම මධ්‍යස්ථානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට කිලෝමීටර් 6ක් වැනි ඉතා ආසන්න දුරකින් පිහිටා තිබීම විශේෂත්වයකි. මෙය MAS සමූහයේ දකුණු ආසියානු කලාපීය මෙහෙයුම් ජාලය තුළ විලාසිතා ක්ෂේත්‍රයට අදාළ කටයුතු සඳහාම වෙන්වූ සුවිශේෂී මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

    මෙම නව මධ්‍යස්ථානය Hellmann හි ‘Forward 2030‘ උපායමාර්ගික සැලැස්මෙහි වැදගත් සන්ධිස්ථානයකි. එමඟින් ඔවුන්ගේ දිගුකාලීන ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වයක් සපයන විලාසිතා මෙහෙයුම් අංශය තවදුරටත් ශක්තිමත් වේ. තවද ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය යා කරන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු වැදගත්කම මෙමඟින් මැනවින් පෙන්නුම් කරයි. එමගින්, විලාසිතා ක්ෂේත්‍රයේ නව අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු සැපයුම් සේවා සැපයීමට Hellmann සමාගමට හැකියාව ලැබේ.

    මෙම ආයෝජනය MAS සමූහය හට ඔවුන්ගේ උපායමාර්ගික වර්ධනයේ තවත් වැදගත් පියවරක් වන අතර, දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් තාක්ෂණික සමාගම ලෙස ඔවුන්ගේ ස්ථානය මෙයින් තවදුරටත් තහවුරු වේ. විලාසිතා ක්ෂේත්‍රයට නායකත්වය දීම හා එහි කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමේ අරමුණින් සමාගම මේ වන විට වඩාත් ඉහළ ඉලක්ක කරා ගමන් කරමින් සිටින බව මෙයින් පැහැදිලි වෙයි.

    විලාසිතා ක්ෂේත්‍රයේ සියලුම සැපයුම් අවශ්‍යතා සපුරාලීම සඳහාම නිර්මාණය කර ඇති මෙම මධ්‍යස්ථානය වර්ග මීටර් 8,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයකින් සමන්විතය. මෙහි විශේෂත්වය වන්නේ වායුගෝලීය තෙතමනය සහ උෂ්ණත්වය පාලනය කළ හැකි නවීන පද්ධතිවලින් මෙන්ම සූර්ය පැනලවලින් ද මෙය සමන්විත වීමයි. අවශ්‍යතාවය අනුව පුළුල් කළ හැකි පරිදි සකසා ඇති මෙම පහසුකම් හරහා ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය පුරා කලාපීය බෙදාහැරීමේ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමට හැකියාව ලැබේ.

    මෙම ව්‍යාපෘතිය Hellmann සහ MAS සමූහය අතර පවතින දීර්ඝකාලීන සහයෝගීතාවයේ තවත් සාර්ථක ප්‍රතිඵලයකි. Hellmann සමාගම සතු ගෝලීය සැපයුම් පිළිබඳ දැනුම සහ MAS සමූහය සතු ඇඟලුම් නිෂ්පාදන හා නවීන සැපයුම් දාම පිළිබඳ අත්දැකීම් Hellmann MAS Supply Chain හරහා ඒකාබද්ධ කරයි. එමඟින් ලොව ප්‍රමුඛ පෙළේ විලාසිතා සන්නාමයන් වෙත දකුණු ආසියානු කලාපය පුරා විහිදුණු වඩාත් විධිමත් හා පූර්ණ සැපයුම් විසඳුම් ලබා දීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

    “ඉහළ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන හැකියාව සහ සැපයුම් සේවා මෙන්ම ඕනෑම වෙනසකට අනුව හැඩගැසිය හැකි සැපයුම් දාමයන් හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විටත් ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමයන්ගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. මෙම නව මධ්‍යස්ථානය හරහා, MAS සමූහය සමඟ එක්ව අප පවත්වාගෙන යන  Hellmann MAS Supply Chain” හවුල් ව්‍යාපාරයේ සැපයුම් මෙහෙයුම් හැකියාවන් තවදුරටත් පුළුල් කිරීමට අප අපේක්ෂා කරනවා,” යනුවෙන් Hellmann Worldwide Logistics හි කලාපීය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Patrick Grzywa මහතා පැවසීය.

    “මෙම ආයෝජනය තුළින්, ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් තරගකාරී ඇඟලුම් කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමට MAS සමූහය සතු කැපවීම මැනවින් පිළිබිඹු වෙනවා,” යනුවෙන් MAS සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ Hellmann MAS Supply Chain අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ශක්ති රණතුංග මහතා සඳහන් කළේය. “Hellmann සමඟ අප ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා අප ඇඟලුම් නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමයන් වෙනුවෙන් පරිපූර්ණ සැපයුම් දාම සේවා ලබා දීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මෙම පහසුකම හරහා අපගේ සේවාවන් වඩාත් වේගවත් හා කාර්යක්ෂම කිරීමට හැකිවන අතරම, ශ්‍රී ලංකාව තුළ ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි, අනාගතයට ගැළපෙන ශක්තිමත් ඇඟලුම් කර්මාන්තයක් ගොඩනැගීමට ද විශාල දායකත්වයක් ලැබෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.