දුප්පත් නොවී මාසයක් කොළඹ ජීවත් වෙන්න රු. 18,000ක් අවශ්‍යයි – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

    May, 21, 2026

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 මාර්තු මාසය සඳහා වන දරිද්‍රතා රේඛා සටහන ප්‍රකාශයට පත් කර තිබේ.

    මෙම සටහනට අනුව මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හෙවත් දරිද්‍රතාවයට පත් නොවී සිටීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු. 16,690ක් ලෙසින් ප්‍රකාශ කර තිබේ. 2026 පෙබරවාරි මාසයේ දී මෙම අගය රු. 16,571ක් ලෙසින් දැක්වුණි. ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගය එක් එක් දිස්ත්‍රික්කයට අනුව වෙනස් වනු ඇත.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින පුද්ගලයෙකු හට දරිද්‍රතා මට්ටමට වඩා ඉහළින් සිටීමට නම්, 2026 මාර්තු මාසය වන විට අවශ්‍ය මුදල රු. 18,000ක් ලෙසින්  සටහන් වේ. 2026 පෙබරවාරි මාසයේ දී මෙම අගය දැක්වුණේ රු. 17,872ක් ලෙසිනි.

    මේ අතර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 අතුරින් අවම දරිද්‍රතා රේඛාව පෙන්නුම් කරනු ලබන්නේ මොණරාගලින් වන අතර රු. 15,958ක් ලෙසින් එය අගය වාර්තා වී ඇත. සෙසු සියලු දිස්ත්‍රික්ක ඉදිරියෙන් සටහන් වී ඇති දරිද්‍රතා රේඛා අගය රු. 16,000 මට්ටමට ඉහළින් සටහන්ව ඇත.

    පෙර මාසයට සාපේක්ෂව 2026 මාර්තු මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මෙම නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුවී ඇති බව බව ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.